ජනපතිගේ නෙලුම් කුලුනේ කතාවෙන් පසු ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ජා බිඳ වැටෙන තැනට

ජනපතිගේ නෙලුම් කුලුනේ කතාවෙන් පසු ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ජා බිඳ වැටෙන තැනට

ඊයේ (16) නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජපක්ෂ පාලන සමයේ මෙම ඉදි කිරීම් කටයුතු වලදී සිදු වූ රුපියල් බිලියන 2ක වංචාවක් සම්බන්ධයෙන් කළ හෙළිදරව්වත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ- පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ජා බිඳ වැටෙන තත්වයකට පත්ව තිබේ. 

හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවයට පැමිණ නොතිබුණද වත්මන් ජනාධිපතිවරයා එල්ල කළ මෙම චෝදනා පිළිබඳව ඔහු දැනුවත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම උත්සවයට රාජපක්ෂ මහතාට ඊයේ උදෑසන 10 වන විටත් ආරාධනාවක් ලැබී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැන ගැනීමට ඒෂියන් මිරර් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සාමාජිකයෙකු සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ නිල වශයෙන් හිටපු ජනාධිපතිට ආරාධනා කළ බවයි.

දකුණු ආසියාවේ උසම කුලුන වාන් නෙලුම් කුලුන සඳහා මුල් ගල තබා වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.

"මේ වගේ මනුස්සයෙක් එක්ක සාකච්ජා කරන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඔහු හිතනවා නම් මේ වගේ චෝදනා වලින් පොදුජන පෙරමුණ බලපෑමකට යටත් කරන්න පුළුවන් කියලා, ඒක ඔහුට වෙච්ච කණගාටුදායක අත්වැරැද්දක්" යැයි රාජපක්ෂ හිතවාදියෙකු ඒෂියන් මිරර් වෙත ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේය. මේ නිසා තවදුරටත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ජා කිරීම පිළිබඳව යලිත් වතාවක් සිතා බැලිය යුතු බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපති සිරිසේන යලිත් වතාවක් කට වරද්දාගෙන තිබෙන අතර ඔහු චෝදනා කළ ALIT (Aerospace Long - March International Ltd ) සමාගම එරට රජය සතු සමාගමක් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට මහතා පවසන්නේ මෙම ගිවිසුමේ එකඟතාවයන්ට අනුව සිදු වූ සියලු මුදල් හුවමාරු කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව සිදු වූ බවයි. 

ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් පවසන්නේ ජනාධිපතිවරයා එල්ල කරන මෙම චෝදනා මත භේදාත්මක සහ පදනමක් නැති ඒවා බවයි. ආචාර්ය හේරත් මහින්ද රාජපක්ෂ හිතවාදියෙකි. 

No comments:

Powered by Blogger.