බිලියන 15යි - පෞද්ගලික බලාගාරයන්ගෙන් විදුලිය මිලට ගැනීම පිටුපස මහා පරිමාණ මුදල් වංචාවක් !

පෞද්ගලික විදුලි බලාගාරයකින් විදුලිය ලබා ගැනීමේ රජයේ උත්සාහයක් දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. විදුලි බල අමාත්‍යංශය විසින් මෙලෙසින් පෞද්ගලික විදුලි බලාගාරයන්ගෙන් විදුලිය මිලට ගැනීමට සුදානම් වීම මහා පරිමාණ මූල්‍ය වංචාවකට පාර කැපීමක් බවට වෘත්තිකයන් චෝදනා එල්ල කරනවා.

විද්වත් වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් “දූෂණ විදු නෙතින්” සංවිධානය මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බවට චෝදනා කර සිටියා. මෙහිදී පෞද්ගලික විදුලි බලාගාරයකින් විදුලිය ලබා ගැනීමේ රජයේ උත්සාහය මෙන්ම මහජන උපයෝගීතා කොමිෂන් සභාව සතු බලතල විදුලිබල අමාත්‍යවරයා යටතට පැවරීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවද “දූෂණ විදු නෙතින්” සංවිධානයේ දැඩි විවේචනයට ලක් වුනා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන රජයේ ප්‍රබල අමාත්‍යවරුන් විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන බවද එම සංවිධානය පෙන්වා දුන්නා.

එහිදි අදහස් දැක්වූ ඉංජිනේරු චාරුක කරුණාරත්න ප්‍රකාශ කළේ පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලට ගැනීමේදි එක් ඒකකයක් රුපියලකට වඩා වැඩි වීමේදි රටට වන පාඩුව රුපියල් බිලියන 15ක් පමණ වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉංජිනේරුවරයා සඳහන් කර සිටියේ මෙවැන්නක්,

”රජයේ හිතුමනාපයට හදිසි විදුලි අවශ්‍යතාවයකට විදුලිය මිලට ගන්න පුලුවන්, නමුත් දැන් මේ රටේ හදිසි විදුලිය මිලට ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. හදිසි විදුලිය මිලට ගැනීම් කියලා මේ හදාගන්නේ හොරකම් කරන්න අවස්තාවක්. විදුලි බිඳ වැටීම් ආවම මිනිස්සු බය වෙනවා, එතකොට කරන්නේ හදිසි විදුලි මිලට ගැනීම් කියලා නමක් දාගෙන මේ මාෆියාවෙන් ලොකු විදුලියක් ලබා ගන්නවා.

කොළඹ බාචි විදුලි බලාගාරයනෙ සාමාන්‍ය විදුලි ඒකකයක් ලබා ගන්නේ රුපියල් 18ට. සූර්ය බලාගාරයකින් විදුලිය ලබා ගන්නේ රුපියල් 18.50කට. නමුත් හදිසි විදුලි මිලට ගැනීමේදි ඔවුන් ඒකකයකට රුපියල් 43.80ක මිලක් ගෙවනවා. ඉතින් ඔබතුමන්ලාට පැහැදිලි ඇති මෙතන සිදුවෙන වංචාව කොපමනද කියලා, ඉතින් මේ දිහා නිහඬව බලාගෙන ඉන්න බෑ,

මේ දූෂණයන් නතර කළ යුතුයි, මේ දූෂණ නතර කළ හැකි ආයතන ඇත්නම් ඒවා ශක්තිමත් කළ යුතුයි, ඒ බලය වෙන වෙන තැන්වලට යන්න දැන් හදාගෙන තියෙනවා. මොකද මහජන උපයෝගිතා කොමිසම එම බලය රැකගෙන ඉන්නවා. නමුත් දැන් ඒ බලතල දැන් කප්පාදු කරලා රවී කරුණානායක ඇමතිතුමා සිය අමාත්‍යංශයට අර ගැනීමේ කූඨ ව්‍යාපෘතියක් කර ගෙන යනවා. ඒවා නවත්තන්න ඕන අනිවාර්යෙන්ම, මේ වංචාව සිදු වුවහොත් මේ ගොල්ලොන්ට අවුරුදු විස්සකට විතර ඇතිවෙන්න සල්ලි හොයාගන්න පුලුවන්" 


No comments:

Powered by Blogger.