මංගලගේ පනතට කැබිනට් අනුමැතිය



මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කල සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් වන බව මුදල් අමාත්‍යාංශ නිවේදනය කරයි.

ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වන බව ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරයි.

2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.5% ක්ව පැවැති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත්වූවායින් පසුව ක්‍රමිකව වැඩිකර ගෙන ඇති අතර එය 2019 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩිවනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙවර අයවැය කාර්ය සාධනය මත පදනම්ව සකස් කර ඇති අතර ඒ අනුව අමාත්‍යාංශවලට ප්‍රතිපාදන වෙන්කරනු ලැබ ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම, දැනට සිදුකරමින් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව 2021 වනවිට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% ක් දක්වා වැඩිකිරීම සහ රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක ප්‍රතිශතයකට සීමාකිරීමට රජය අපේක්ෂා කර බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

2019 වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රු. බිලියන 2,200 ක් වෙන්කර ඇති බවත් මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැයකිරීමට සිදුවන විශාලම මුදල මෙය බව ද අමාත්‍යාංශය දක්වයි.

රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 1,425 ක්ද, ප්‍රාග්ධන වියදම් සඳහා රු. බිලියන 838 ක් ද වෙන්කර ඇත.

2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Powered by Blogger.