සෞදි කාන්තාවන්ට සලකන්නේ වහල්ලුන්ට වගේ



සෞදි කාන්තාවන්ට “වහලුන්ට” මෙන් සලකන බව සිය පවුලෙන් පළා විත් කැනඩාවේ රැකවරණ ලබන සෞදි තරුණිය පවසයි.

18 හැවිරිදි රහෆ් මොහොමඩ් තායිලන්තයට පැමිණ හෝටල් කාමරයක රැඳී සිටිමින් ට්විටර් පණිවුඩයක් මාර්ගයෙන් උපකාර ඉල්ලා සිටියේ, තමන් එරටින් පිටුවහල් කරනු ලැබීම වළකාලනු පිණිසය.

පසුව එම ට්විටර් පණිවුඩය ජාත්‍යන්තර පුවතක් බවට පත් විය. සිය පවුල වෙත යළි හරවා ලැබුවහොත් තමන් මරා දමනු ඇතැයි බිය වූ බව රහෆ් මොහොමඩ් කියා සිටී.

තමන්ට වඩාත් ස්වාධීන ජීවිතයක් ගත කළ හැකි බැවින් “අවදානමක් ගැනීම සුදුසු” යැයි හැඟුණු බව ටොරොන්ටෝ ස්ටාර් සහ සීබීසී පුවත් සේවා වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළාය.

“මට නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ,”

“අපිට සලකන්නේ භාණ්ඩයකට වගේ. හරියට වහලුන්ට වගේ. මගේ කතාව සහ සෞදි කාන්තාවන්ට මොකක් ද වෙන්නේ කියලා මිනිස්සුන්ට කියන්න මට ඕන වුණා”

සෞදි අරාබියේ පුරුෂ භාරකාරත්ව ක්‍රමවේදය අනුව රටෙන් බැහැර යාම, ආණ්ඩුවේ ශිෂ්‍යත්වයක් ලබා විදෙස් රටක අධ්‍යාපනය ලැබීම, විවාහ වීම මෙන් ම බන්ධනාගාරයකින් නිදහස ලැබීම සඳහා ද කාන්තාවන් ඥාති පුරුෂයෙකුගෙන් අවසර ලබා ගත යුතුය.

“ඉස්ලාම් දහම අත්හැරියා”

අල් කුනන් යන සිය වාසගම අත්හළ රහෆ් මොහොමඩ් පවුලේ සාමාජිකයන් තමන් ශාරීරිකව සහ මානසිකව අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරයි.

“මුලදී මම කොණ්ඩෙ කොටට කැපු අවස්ථාවේ ඔවුන් මාස හයක් මාව කාමරේ හිර කළා. මොක ද ඉස්ලාම් දහමට අනුව පිරිමියෙක් වගේ ඇඳීම තහනම්” ටොරොන්ටෝ අගනුවර පිහිටි සංක්‍රමණික කාර්යාලයක පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය කියා සිටියාය.

“නමුත් මම වඩාත් ම ප්‍රචණ්ඩත්වයට ලක් වුණේ මගේ මව සහ සහෝදරයා අතින්. ඔවුන් මට පහර දුන්නා. ශාරීරිකව වද දුන්නා,”

තායිලන්තයේ රැඳී සිටින අවස්ථාවේ බීබීසී වෙත අදහස් දක්වමින් රහෆ් මොහොමඩ් කියා සිටියේ, තමන් ඉස්ලාම් දහම අත්හළ බවය. එය සෞදි අරාබිය තුළ මරණ දණ්ඩනය ලබා දිය හැකි අපරාධයක් ලෙස සැලකේ.

සිය පවුල සමග කුවේට්හි සංචාරයක නිරත වූ ඇය බැංකොක් වෙත පළා ආවේ, පසුගිය ජනවාරි 05 වන දා ය. ඔස්ට්‍රේලියාව වෙත යාමේ අරමුණින් පැමිණි තමන් සතුව එරට වීසා බලපත්‍රයක් තිබූ බව ඇය සඳහන් කළාය.

නමුත් තමන් ගුවන් යානයෙන් පිටතට පැමිණි අවස්ථාවේ සෞදි තානාපති නිලධාරියෙකු පැමිණ සිය ගමන් බලපත්‍රය ඔහු භාරයට ගත් බව රහෆ් මොහොමඩ් පැවසුවාය.

තායිලන්තයේ කොටු වූ ඇය විසින් උපකාර ඉල්ලා ට්විටර් පණිවුඩ ගණනාවක් නිකුත් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

No comments:

Powered by Blogger.