ජොබ් දෙන්න ඉන්ටර්ව් තියන බස්නාහිර අධ්‍යාපන ඇමතිගේ අරුම පුදුම බිරිඳ

දේශපාලකයින්ගේ බලය ඔවුන් වටා සිටින පිරිස භාවිතා කරන බවට ඕනෑ තරම් තොරතුරු රටේ විවිද ප්‍රදේශ වලින් අතීතයේ සිට වාර්තා වේ.ඒ අතරට දේශපාලකයාට සහාය දැක්වූ අය හට රැකියා ලබා දීමද ඇතුළත්ය.මෙම තත්වය අප රට තුළ සිදු වුවත් මේ වන විට එය ඊටත් වඩා එහා ගොස් ඇති පුවතක් අප වෙත වාර්තා වී ඇත.

එනම් බස්නාහිර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු කිහිපයක් සඳහා පළ කර තිබූ ගැසට් නිවේදනයට අයදුම් නොකළ පිරිසක් වෙත, බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශගේ බිරිඳ විසින් සම්මුක පරීක්ෂණ සිදු කරමින් බඳවා ගැනීමට සූදානමින් සිටින බවට වූ ආරංචියි. බස්නාහිර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩුව පවතින කම්කරු, මුරකරු සහ රසායනාගාර සහයක තනතුරු සඳහා සේවකයන්ට ඉල්ලුම් කිරීමට ගැසට් නිවේදනයක් මැයි මස 01 වැනිදා පළ කර තිබූ අතර එහි අවසාන දිනය ලෙස මැයි මස 31 වැනිදා දක්වා තිබුණි.

කෙසේවෙතත් ඊට අයදුම් කළ පිරිස් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදු නොකර බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමතිගේ බිරිඳගේ මැදිහත්වීමෙන් මෙම අකටයුතුකම් සිදුව ඇති බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා විය. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශගෙන් විමසීමට අප කටයුතු කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

පසුව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්.ජී විජයබන්ධු මහතාගෙන් ද මේ පිළිබඳව විමසා සිටි අතර එහිදී ඔහු සඳහන් කළේ අදාළ චෝදනාව පිළිබඳව කිහිපදෙනෙකු තමන්ගෙන්ද විමසා සිටි බවයි. එහෙත් අයදුම් කළ පිරිසගේ සම්මුක පරීක්ෂන නියමිත පරිදි මේ දිනවල පැවැත්වෙන බවත් එවැනි කිසිඳු අකටයුත්තක් සිදුව නොමැති බවත් ඔහු සඳහන් කරන ලදී.

slstory.com

No comments:

Powered by Blogger.