ශ්‍රී.ල.නි.ප 16 දෙනා ගලේ පැහැරූ බළලුන් වගේ වෙලා – නි.අමාත්‍ය දුනේෂ් ගන්කන්ද කී අපූරු කතාව

වර්තමාන දේශපාලන කරලිය තුළ ශ්‍රී.ල.නි.ප 16 දෙනාගේ කණ්ඩායම විවිද චරිත රඟ දක්වමින් සිටින බව දක්නට ලැබේ.මෙම රංගනයන්ගේ අරමුණ 16 දෙනාටම පොදු වූ එකක්ද යන්න තරමක් ගැටළු සහිත වුවත් දහසය දෙනාගේ කල්ලිය ගලේ කෙටූ අකුරු මෙන් මහින්ද සමඟ යැයි කීවත් දැන් ඔවුන් ගලේ පැහැරූ බළලුන් බවට පත්වෙලා, යැයි ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා සදහන් කරන ලදී.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ පැල්මඬුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රි කණ්ඩායම සහ ඒ සඳහා තරග කළ සෙසු අපේක්ෂකයන් සමඟ පැවැති රැස්වීමක් අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය :-

පසුගිය දිනෙක ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ විහාර මහාදේවි එළිමහන් වේදිකාවේදී පැවැත්වුණා. මෑතක ඒකාබද්ධ විපක්ෂයට එක්වූ 16 දෙනාගේ කල්ලිය නියෝජනය කරමින් වියපත් දේශපාලනඥයෙක්ද එදින අදහස් පළ කළා. 16 දෙනාගේ කල්ලිය ගලේ කෙටූ අකුරු මෙන් මහින්ද රාජපක්ෂ සමඟ සිටින බව ඔහු සඳහන් කළා. එහෙත් අපට පෙනීයන්නේ ඒකාබද්ධයට එකතු වූ මන්ත්‍රිවරුන් 16 දෙනා ගලේ කෙටූ අකුරු කෙසේ වෙතත් ගලේ පැහැරූ බළලුන් බවට පත් වෙලා කියලයි.

එම වේදිකාවේදී හොඳම රංගනය ඉදිරිපත් කළේ අපේ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මෑතකදී විපක්ෂයට එක්වූ 16 දෙනාගේ කල්ලියේ වැඩිහිටි දේශපාලනඥයායි. ඔහුගේ රංගනය අති විශිෂ්ටයි. ආණ්ඩුවෙන් ඉවත් වූ බව ඔහු කියනවා. එහෙත් ඉවත් වූ පසුත් ඒ මහතා සම්බන්ධීකරණ කමිටුව ඇතුළු රාජ්‍ය ව්‍යුහයේ විවිධ පදවි අදටත් දරනවා. මේ මෑතක ඔහු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්නපුරයේ පැවැති වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ සංවර්ධන වැඩපිළිවෙළක් වූ ග්‍රාම ශක්ති සම්මන්ත්‍රණයට පැමිණ අසුන් ගෙන සිටිනවාත් මා දැක්කා. 

අපේ රටේ කියමනක් තියෙනවා ‍දොන් නම් ‍දොන් සිමන් නම් සිමන් ‍දොන් සිමන් දෙකක් බෑ කියලා. එහෙත් එදා ඔහු නම් විහාරමහාදේවි වේදිකාවේත් සබරගමුව පළාත් සභා ශාලාවේදීත් ‍දොන් සහ සිමන් යන චරිත දෙකම මැනවින් නිරූපණය කළා. දේශපාලන පක්ෂ බිහි වන්නේ අනන්ත අප්‍රමාණ කැපවීම් මතයි. හරියට වේයෝ පස් බිඳෙන් බිඳ එකතු කර හුඹහක් හදනවා වගේ. වේයෝ දුක් මහන්සියෙන් හුඹහ හැදුවට පස්සේ නයි සැපින්නියෝ ඒ තුඹස්වලට රිංගනවා. අද පොහොට්ටුව නමැති දේශපාලන හුඹහට වෙලා තියෙන්නේත් එවන් ඛේදවාචකයක්. 

රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුව නමැති හුඹහා ගොඩනැඟීමට කැපවූ පිරිස අපි දන්නවා. අප ඔවුන්ගේ දේශපාලනය අනුමත නොකළත් ඔවුන් ඔවුන්ගේ දේශපාලනය කළ බව අපට පිළිගන්න වෙනවා. එහෙත් එසේ වේයන් වැනි පිරිස් එකතු වී ගොඩනැඟූ පොහොට්ටුව නමැති දේශපාලන හුඹහට රිංගා ගත් දේශපාලන නයි සහ හැපින්නන් දැන් පෙණේ පුප්පන්න පටන් අරන්.” යනුවෙන් සදහන් කරන ලදී.

slstory.com

No comments:

Powered by Blogger.