නව දේශපාලන පෙරමුණේ මෙහෙයුම් මූලස්ථානය ඇමති රාජිත හෙළි කරයි
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය බවට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිධූරයට පත් වූ ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙනුවෙන් අළුත්ගම ධර්ගා නගරයේ ආගමික නායකයින් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධව සංවිධානය කළ උපහාර උත්සවයට පසුගියදා (03) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අළුත්ගම ධර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී උත්සවය පැවැත්විනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 1971 වසරේ දී බිහි කළා. එහි ප්‍රථම සභාපතිධූරයට පත් වූයේ මහාචාර්ය සේනක බිබිලේ මහතායි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අත්‍යාවශ්‍ය ඖෂධ ඉතාමත් අඩු මිලට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුනා. 1982 වසරේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ආරම්භ කළා. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ තමයි ඖෂධ නිෂ්පාදනය ආරම්භ වුනේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරුන්, මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් වුනා. රූමි මහතා 2015 වසරේ සිට කළමණාකාර අධ්‍යක්ෂධූරයේ කටයුතු කළා. ඔහු යුක්රේනයේ ජාතික තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබද ආචාර්ය උපාධියක් ලබා තිබෙනවා. නවීන තාක්ෂණයට අනුව සංස්ථාව ගොඩනැංවීම ඔහුට බාර දී ඇති වගකීමයි. 2015 වසරේ දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මම බාරගන්න විට ලාභය තිබුනේ රුපියල් මිලියන 400 ක්. 2018 වසර වන විට එය රුපියල් මිලියන 1982 දක්වා වැඩි වුනා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදයෙන් පසු රූම් මහතා සභාපතිධූරයට පත් කිරීමට මම තීන්දු කළා. 2019 වසර අවසන් වන විට සංස්ථාවේ ලාභය රුපියල් මිලියන 2000 දක්වා වැඩි කරන ලෙසට මම සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. රූමි මහතා මට හමුවුනේ අමාත්‍ය රවීකරුණානායක මහතා මගින්."
"2015 වසරේ පොදු අපේක්ෂක වැඩපිළිවෙල පිළිබදව එක්සත් ජාතික පක්ෂය සමග මුලින්ම සාකච්ඡා කළේ කරුණානායක මහතා සමගයි. අපට 2015 ජනාධිපතිවරණයේ දී කාර්යාලයක් දැමීමට ගොඩනැගිල්ලක් වත් කවුරුවත් දුන්නේ නැහැ. නමුත් මගේ පුතා තිඹිරිගස්යායේ ගොඩනැගිල්ලක් මීලදී ගෙන තිබුනා. එම ගොඩනැගිල්ලේ තමයි කාර්යාලය පවත්වාගෙන ගියේ. එම ස්ථානයේ දී තමයි රූමි මහතා හමු වුනේ. ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය වන්නේත් එම ස්ථානයයි. එහි සිට තමයි ජනාධිපතිවරණ සටන මෙහෙය වන්නේ. 2015 වසරේ ජනාධිපතිවරණ සටන සදහා මම දිවයින පුරා යනවිට රූමි මහතා මා සමග සිටියා. ජනවාරි 08 දින ජයග්‍රහණය භුක්ති විදීමට රූමි මහතා සිටියත් මෙවැනි තනතුරක් ලබාදෙයි කියලා ඔහු හිතුවේ නැහැ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක වැටුප් සියයට 50 කින් වැඩි කිරීමේ දී සංස්ථා වෘත්තීය සමිති මගෙන් ඉල්ලා සිටියේ රූමි මහතාට වගකීම් රැසක් බාරදෙන ලෙසයි. ඒ අනුව මම සංස්ථාවේ උත්සවයකට ගිය විට මා සහ රූමි මහතා කථා කරන විට වෘත්තීය සමිති ඔල්වරසන් නැගුවා. වෘත්තීය සමිති නායකයින් සමග හොදින් ගණූදෙනු කිරීම පරිපාලකයෙකුගේ හොද ලක්ෂණයක්. ඔක්තෝබර් 26 දින දේශපාලන අර්බුදය නිර්මාණය වූ පසුවත් රූමි මහතා මා සමග සිටියා. අරලියගහ මන්දිරයේ සිට මම සටන මෙහෙය වන විට මා සමග ලගින්ම සිටියා. රූමි මහතා හොද ව්‍යාපාරිකයෙක්. ඒ බව රුසියාවේ පැවැති තේ අලෙවි ප්‍රදර්ශණයක දී මම හොදින් දුටුවා. රුසියානු භාෂාවෙන් කථා කරමින් ඔහු හොදට තේ අලෙවි කළා. රූමි මහතාගේ පවුල උගත් පවුලක්. සමාජ සේවකයෙක්. ඕනෑම කෙනෙකුට උදවු කිරීමට පැකිලෙන්නේ නැහැ. තම පුතා පිළිබදව මව උනත් ප්‍රකාශ කළේ සමාජ සේවයට කැමැතිවීම පිළිබදව සතුට පළ කරන බවයි. මහා සංඝරත්නයට ද රූමි මහතා උදව් කර තිබෙනවා. රූමි මහතා යනු මගේ සෙවනැල්ලක් කියලා මම ප්‍රකාශ කළා. ඔහුට මෙම තනතුර ලබාදුන්නේ ඉතාම සතුටින්. කාර්යක්ෂමව වැඩ කිරීමටයි. මගේ වැඩපිළිවෙලට රූමි මහතා ශක්තියක් වුනා. ඔහු ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්. එවැනි අය සමාජයේ විරලයි. මගේ සහෝදරයෙක් වගේ සිටින මෙවැනි පුද්ගලයින් වර්තමාන සමාජයට අවශ්‍යයයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
No comments: