රාජකීයන් හා ප්‍රභූන් විඩාහැරී පඩිවිට අම්බලම කඩාවැටීමේ අවදානමක

කන්ද උඩරට රාජධානියට ගමන් කළ මාර්ගයේ රාජකීයන් හා ප්‍රභූන් විඩාහැරීමට යොදාගත් මාතලේ ඓතිහාසික පඩිවිට අම්බලම කඩා වැටීමේ අවදානමක තිබේ. මේ වන විට අම්බලම යම් තරමකින් ඇලවී ඇති බව මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා පවසයි.
දැවයෙන් තැනූ අසුනක් සහිත මෙම අම්බලම මේ වන විට ඓතිහාසික ස්මාරකයක් බවට පත්ව තිබේ. කැටයම් කළ දැවමය කණු මත ඉදිවුණු මෙම අම්බලම එවකට මාතලේ - මහනුවර (කන්ද උඩරට) මාර්ගයේ තිබූ අලංකාරම අම්බලම වූ නමුත් මේ වන විට ඒ අලංකාර අම්බලම විනාශයට යොමුව ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.

වහලේ දැව දිරාපත්ව කඩා වැටීමේ අවදානමක්ද ඇති බැවින් මෙවැනි ස්මාරක අනාගත පරපුරේ දැක්ම සඳහා සංරක්‍ෂණය කර ආරක්‍ෂා කර ගත යුතු බව පවසන සභාපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ වෙනත් ආයතනයකට නොහැකි නම් සංරක්‍ෂණය කර ආරක්‍ෂා කර ගැනීමේ වගකීම ප්‍රාදේශීය සභාවට ලබාදෙන්නැයි ඉල්ලීමක් කරයි.
මේ වන විටත් ගම්මානයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක රැස්වීම් පවා මෙම අම්බලමේ පවත්වන බව ගම්වාසීහු පවසති.

No comments: