"සේනා" දළඹුවා වී වගාවටත් ඒවිද?



ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වී වගාවට හානිකරන දළඹු විශේෂයක් දැයි පරීක්ෂණ කිරීම සඳහා කීට විද්‍යාඥයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත  මඩුල්ලක් මගින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලියු.එම්.ඩබ්ලියු.විජේකෝන් මහතා ප්‍රකාශ කළේය.

කුරක්කන්, කව්පි වැනි  භෝග වගාවන් තුළ දළඹු විශේෂයක්  හමු වී ඔවුන් සාර්ථකව මර්ධනය කර ඇති නමුත් එම සත්වයන් බඩඉරිගු වගාවට හානි කරන දළඹු විශේෂය දැයි නිශ්චිතව හඳුනාගෙන නොමැති බව ගන්නෝරුව  ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී අද (17) පැවති සාකච්ඡාවක දී ඒ මහතා ප්‍රකාශ කළේය.

සේනා දළඹු විශේෂයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන කාර්ය සාධන බලකායේ දෙවන සාකච්ඡාවටය අදාල සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

සේනා දළඹු විශේෂය නුවරඑළිය දිස්ත්‍රීක්කය හැර සෙසු දිස්ත්‍රික්කවල වාර්තා වී ඇති බවත් යාපනය දිස්ත්‍රිකයේ බඩ ඉරිගු වගාව සුලභ නොවන නිසා එම දිස්ත්‍රික්කයේ  දළඹුවාගේ පැතිරී යාමක් සිදු ව නොමැති බව කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට පැමිණ ඇති දළඹු විශේෂය වී වගාවට හානිකරන දළඹු විශේෂයක් නොවන බවට. මෙම දළඹුවාගේ ප්‍රභේද දෙකක් පවතිනවා. දළඹුවාගේ හැසිරීම පිළිබඳව ගොවියන් ද අවධානයෙන් යොමුවිය යුතුයි. වී ගොවිතැන කරන ගොවියන් සිය ගොයම් පඳුරු නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම වඩා සුදුසුයි.

සේනා දළඹුවා සිටිය පමණින් බඩ ඉරිගු ආහාරයට ගැනීම කිසිසේත්ම අහිතකර වෙන්නේ නැහැ. නමුත් දැන් ජනතාව තුල පවතින්නේ අනියත බියක්. මෙම දළඹුවා ළපටි බඩඉරිගු කරල්වල ඉතාමත්ම සුළු කොටසකට පමණයි හානි කරන්නේ. නමුත් මේ නිසා සම්පූර්ණ බඩඉරිගු කරල අපතේ හැරීමක් සිදු කරනවා. නමුත් මෙම බඩඉරිගු කරල හානි නොවූ ස්ථාන පරිභෝජනය කිරීම කිසිදු අයුරකින් අහිතකර වෙන්නේ නැහැ.

සේනා දළඹු විශේෂය පාලනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍ය සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් මේ වන විට අප සාකච්ඡා කළා. කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ දළඹු විශේෂය පාලනය කිරීම සඳහා කෘමිනාශක, බෝග ආරක්ෂිත අයුරින් විනාශ කිරීම, ආරක්ෂිත ප්‍රවාහන ක්‍රම, සත්ව ආහාර ආරක්ෂිත අයුරින් සකස් කරීම ආදිය පිළිබඳව ගොවියන් දැනුවත් කොට හමාරයි. ‍

මධ්‍යකාලීන වැඩපිළිවෙළ යටතේ අලුත් බෝග වර්ග තේරීම සුවිශේෂ වූ කෘමිනාශක යෙදීම ආදිය පිළිබඳව මේ වන විට සාකච්ඡා කරනවා යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලියු.එම්.ඩබ්ලියු.විජේකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.