හතුරුට තේරීම්කමිටු දොර වැසේ
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට හිමිව තිබූ අවස්ථාව ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම තීරණයත් සමඟ අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට සංචිතය මෙන්ම තරගයක් සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා තේරීමේ අවස්ථාව ද ලැබී තිබේ. හතුරුසිංහ මහතා සතුව තිබූ සංචාරයක් අතරතුරදී අවසන් එකොළොස්දෙනාගේ කණ්ඩායම තේරීමේ අවස්ථාව ඒ මහතාට අහිමි කර තිබේ.
හතුරුසිංහ මහතා තේරීම් කමිටු සාමාජිකයකුව සිටීමෙන් ක්‍රීඩාවට හානියක් වන බවට වර්තමාන තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු දක්වා තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹ ඇති බවත් ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා එය තේරීම් කමිටුවට ලිඛිතව ලබාදී ඇති බවත් කියැවේ.
එම තීරණයත් සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ සිට කණ්ඩායම තේරීමේ වගකීම ජාතික තේරීම් කමිටුවට පැවරී තිබේ.
හතුරුසිංහ මහතා 2018 වසරේ පුහුණුකරු ධූරය බාරගැනිමේදී තමන්ට තේරීම් කමිටුවේ සාමාජිකත්වය ද ලැබිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කළ අතර ඒ අනුව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර ඒ සඳහා ප්‍රතිපාදන ඇති කර තිබේ.
www.reporter.lk

No comments: