නවක වදය නිසා සාගරවිශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සරසවිය හැර යති


නවක වධය විශ්වවිද්‍යාල තුළින් තුරන් කළ යුතු යැයි අධ්‍යාපන බලධාරීන් පැවැසුවද මේ දිනවල ඉතාම දරුණු ලෙස නවක වධයට මුහුණ දෙමින් දරුණු වධ හිංසාවන්ට ලක්වන සිසුන් පිරිසක් පිළිබඳ මට්ටක්කුලිය සාගර විශ්වවිද්‍යාලයෙන් වාර්තා වේ.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පසුගියදා මට්ටක්කුලිය සාගර විශ්වවිද්‍යාලයට පැමිණි සිසුන්ට අත්වී ඇති ඉරණම පිළිබඳ රටේ අෑත පළාත්වලින් මෙහි පැමිණි සිසුන්ගේ මවුපියන් හැඬූ­ කඳුළින් පසුවෙති.
මෙම සාගර විශ්වවිද්‍යාලයේ අණසක පතුරුවන බව කියන පැරැණි ශිෂ්‍ය ප්‍රජාව අතර කාන්තා පාර්ශ්වය වැඩිය. මෙහි එන නවක සිසුන්ට ඔවුන්ගේ නියම නම වෙනුවට ප්‍රථමයෙන්ම වෙනත් ආරූඪ නමක් ලබා දෙයි. එම නමින් ආමන්ත්‍රණය කිරීම අරඹා දවසේ දැඩිම අව් රශ්මිය ඇති වෙලාවේදී සිසුන් පැය 4-5 අතර කාලයක් අව්වේ සිටුවා තබයි. පරුෂ වචන කියමින් අව්වේ උඩ පැන්නවීම, පරුෂ වචනයෙන් කවි සින්දු ගායනා කරවීම, තනි කකුලෙන් සිටුවා තැබීම, තිබහට වතුර පොදක් හෝ නොදීම වැනි කෘෘර වධ හිංසා සිසුන්ට පැමිණවීමට තරම් මෙම ශිෂ්‍යාවන් ඔවුන්ගේ බලය මෙහිදී පෙන්වන බවට තොරතුරු ලැබී ඇත.
තමන් ළඟ සිටින තමන් සමඟ එකට එක ගමෙන් ආ මිතුරියට හෝ නියම නම වැරැදීමකින් හෝ කියවුණහොත් දඬුවම් දෙන බවත් ඔවුන් දෙන පිළිකුල් සහගත දඬුවම් ගම්වලින් පැමිණි සංවරශීලී තරුණියන්ට ඉවසා සිටිය නොහැකි හේතුවෙන් මේ වන විට
හතළිහකට ආසන්න පිරිසක් ආපසු හැරී ගොස් ඇති බවත් මවුපියෝ කියති.
පැරැණි සිසුන්ගේ අණට කීකරු නොවෙන සෑම අයකුටම මානසික, ශාරීරික වධ හිංසාවලට ලක්වීමට සිදුවන බවත් අපහසුතාවට පත්ව ඇති සිසුන් පිරිසකගේ මවුපියෝ හැඬූ කඳුළින් පැවැසූහ.
උදය වරුවේ සහ සවස් යාමයේ නවක සිසුන් තමන් සිටින ස්ථානවලට ගෙන්වා ගනිමින් කුඩාඉඩ ප්‍රමාණයකින් සමන්විත පන්ති කාමර තුළදී සිදුකරන අසභ්‍ය නින්දිත ක්‍රියා සියල්ල එහි සවිකර ඇති විද්‍යුත් කැමරා තුළින් ඔප්පු කරගත හැකි බවත් මවුපියෝ පවසති. මහ දවල් ගිනි අව්වේ සිටුවා තැබීමෙන් අසනීප වී සාගර විශ්වවිද්‍යාලය අසල නවාතැන් පොළවල නේවාසිකව සිටින සිසුන් දේශනවලට යොමු නොවී වෛද්‍ය උපදෙස් මත විවේක ගන්නා විට පැරැණි සිසුවියන් එම ස්ථානවලට පැන රෝගීව සිටින තරුණියන්ට වධ හිංසා කර නැවත පන්ති කාමර තුළට ඇදගෙන යන බවත් නේවාසිකාගාර හිමිකරුවෝ පවසති.
විශ්වවිද්‍යාල තුළ නවක වධයට සම්බන්ධ නොවන බවට සිසුන්ගෙන් ප්‍රතිඥා ගෙන එහි පැමිණි දින සිට මෙලෙස පැරැණි සිසුන්ගේ අප්‍රමාණ කෘෘර වධහිංසාවලට ලක්වීමට සිදුව ඇත්තේ උසස් අධ්‍යාපන බලධාරීන්ගේ වරදින් බවත් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව සාගර විශ්වවිද්‍යාලයේ නවාතැන් ගෙන නීති විරෝධී අන්දමින් එහි බලහත්කාරයෙන් රැඳෙමින් අහිංසක නවක සිසුවියන්ට අමානුෂික වධ දෙන පැරැණි සිසුවියන් කණ්ඩායම වහාම මෙම භූමියෙන් ඉවත් කර නැවත සිසුන්ට තම අධ්‍යාපන කටයුතු නිදහසේ කරගැනීමට ඉඩ සලසා දෙන ලෙසත් සිසුන්ගේ මවුපියෝ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
නවක සිසුන් මුහුණදී ඇති නවක වධය සම්බන්ධව සාගර විශ්වවිද්‍යාලයේ කුලපති, උප කුලපති, ආරක්ෂක අංශ බලධාරීන් ඇතුළු සියලුම දෙනා ඉතාම හොඳින් දන්නා නමුත් මෙම අසාධාරණ ක්‍රියා වැළැක්වීමට ඔවුන් කිසිදු පියවරක් නොගැනීමේ හේතුවෙන් සාගර විශ්වවිද්‍යාලයට එන සිසුන් ආපසු හැරීයෑම වැළැක්විය නොහැකි බවත් මවුපියෝ පවසති.
කැලණිය-කුසුම් එස්. හැන්නදි

www.reporter.lk

No comments:

Powered by Blogger.