පින්නවලදි ඉපදුණු අන්තිම අලි පැටවාත් මියයයි



පින්නවල අලි අනාථගාරයේ සෙවණ ලබමින් සිටින අලි ඇතුන්ගෙන් ළාබාලතම ඇත් පැටවා වූ අනුරාධ ඇත් පැටවා ඊයේ (27දා) මියගිය බව පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්‍ෂ මිහිරාන් මැදවල මහතා පැවැසීය.

මේ ඇත් පැටවා 2015 ජුනි මස 09 වැනිදා පින්නවල අලි අනාථාගාරයේදී උපත ලබා තිබිණි. අනුරාධ ඇත් පැටවාගේ පියා වසභ වන අතර මව ශාන්තිය. ශාන්ති ඇතින්න දැනට ඇත් පැටවුන් තිදෙනකු බිහිකර ඇති අතර මියගොස් ඇති ඇත් පැටවා තෙවැනියාය. එසේම උෟ පින්නවල අලි අනාථාගාරයේ අන්තිමට බිහිවූ අලි පැටියා බවද එහිදී අනාවරණය විය. අනුරාධ ඇත් පැටවාගෙන් පසු මෙතෙක් කිසිදු අලි පැටවකු පින්නවල අලි අනාථාගාරයේ බිහිවී නොමැත.
අනුරාධ ඇත් පැටවා සිය මව සමඟ වෙනම යකඩයෙන් සකස් කරන ලද මඩුවක සිටියදී යකඩ පොල්ලක් අතරින් කකුලක් එළියට දැමීමට ගිය අවස්ථාවේදී මීට වසර එකහමාරක ඉහතදී කකුල බිඳී ප්‍රතිකාර කර සුවය ලබාද සිටියේය. පසුගිය 21 වැනිදා මේ ඇත් පැටවා කොළ අතු හා කිතුල් වැනි කෑම ජාති ආහාරයට ගෙන ඇති අතර පසුව වමනය කළ බව අනාවරණය විය. පසුගිය 23 වැනිදා ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්.ආර්.බී.එන්. බණ්ඩාර වෛද්‍යවරයා විසින් ඇත් පැටවාගේ උගුරේ හා ගලනාලයේ හිරවී තිබූ කෑම කොටස ඉවත් කර ප්‍රතිකාර කරමින් සිටියදී ඊයේ (27දා) අලුයම මියගොස් තිබිණි.
මියගිය ඇත් පැටවා වෙනුවෙන් පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්‍ෂ මිහිරාන් මැදවල මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ දෙනමක් අලි අනාථාගාරයට වැඩම කරවා දැහැත් ගිලන්පස මතක වස්ත්‍ර පැන් වඩා පිරිකරද පූජා කිරීමෙන් මියගිය ඇත් පැටවා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදුකළහ.
මියගිය ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (27දා) සවස පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකිරීමට නියමිතව තිබිණි. එහෙත් පින්නවල අලි අනාථාගාරයේ සේවය කරන ඇත්ගොව්වන් පිරිසක් චෝදනා කර සිටියේ මියගිය ඇත් පැටවාගේ හදිසි මරණය සම්බන්ධව සම්පූර්ණයෙන්ම පාලන අධිකාරිය වගකිව යුතු බවත්ය. මේ ඇත් පැටවාගේ කකුල්වල දම්වැල් දමා සෙසු අලින් සමඟ ජීවත්වීමට පුරුදු කළ යුතු බවත් දම්වැල් දැමීමට යෑමේදී නිසි ක්‍රමවේදයක් නොමැතිව ඇත් පැටවා නිර්වින්දනය කිරීම හේතුවෙන් ඇතිවූ අසනීප තත්ත්වය මුල්කරගෙන මේ ඇත් පැටවා මියයන්නට ඇතැයි ඔවුහු චෝදනා කරති.
මේ සම්බන්ධව අදහස් දැක්වූ පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්.ආර්.එන්. බණ්ඩාර මහතාගෙන් විමසා සිටියේය.
"ඔය එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මෙම ඇත් පැටවා 21 වැනිදා කන්නේ නැතිව වමනය කරමින් සිටියා. අපි ඇත් පැටවාට හොඳින් ප්‍රතිකාර කළා. ඇත් පැටවා වෙනුවෙන් සේවකයන් අටදෙනෙක් යොමුකර සිටියා. 23 වැනිදා ඇත් පැටවාගේ උගුරේ සිරවී තිබූ කෑම කොටස් අපි ඉවත් කළා. ඊට පසු උෟට අපි ප්‍රතිකාර කළා. අපි හිතුවේ නැහැ ඇත් පැටවා ජීවිතක්ෂයට පත්වෙයි කියලා."

දමුණුපොළ - චමින්ද ජයලත්


www.reporter.lk

No comments:

Powered by Blogger.