පිදුරංගල පර්වතයේ ගත් අඩ නිරුවත් ඡායාරූප මුහුණු පොතට එක් කළ තිදෙනෙකුට වැඩ වරදී

පිදුරංගල පර්වතයේ ගත් අඩ නිරුවත් ඡායාරූප මුහුණු පොතට එක් කළ තිදෙනෙකුට වැඩ වරදී

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ භූමියේ පිහිටි පිදුරංගල ගල මතට නැග අඩ නිරුවතින් ඡායාරූප ලබාගෙන මුහුණුපොත හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට තරුණයන්  තුන්දෙනෙකු අද (26 ) පස්වරුවේ සිගිරිය  පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනකු අඩ නිරුවතින් ඡායාරූප වලට පෙනී සිටීම චෝදනාව යටතේ සහ තවත් තරුණයෙකු එම ඡායාරූප ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ආර් .කේ .සි .ටි .රත්නායක මහතා පැවසීය.

මෙම තරුණයන් තිදෙනාට අමතරව තවත් තරුණයන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ .තරුණයන් පස්දෙනා ම පසුගිය දිනක සීගිරිය පිදුරංගල පර්වතයට නැග තිබෙන බවත් එයින් තරුණයන් දෙදෙනෙකු දැඩි ලෙස මෙම තරුණයන් තිදෙනාට මෙසේ අසභ්‍ය ඡායාරූප නොගන්නා ලෙස අවවාද කළ බව පොලිසියට ප්‍රකාශ කොට තිබේ. එහෙත් මිතුරන්ගේ කීම නොඅසා මෙයාකාරයෙන් පින්තූර ලබා ගෙන ඇතැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව   පොලිස් භාරයට ගත් එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ සටහන් කොට සාක්ෂිකරුවන් ලෙස යොදා ගන්නා බවත් ඔවුන්  ප්‍රරකාශ සටහන් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට නියමිත බව පොලිස් පරීක්ෂක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ අඩනිරුවතින් ඡායාරූප ලබාගත් සහ ඡායාරූප වලට පෙනී සිටි තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී සඳහන් කොට ඇත්තේ විදේශීය කාන්තාවක් සීගිරිය පිදුරංගල පව්වේ සිට මෙයාකාරයෙන් පින්තූරයක් ලබාගෙන එම පින්තූරය අභියෝගයට ලක්කරමින් මූණුපොතේ මුදාහැර තිබුණු බවය. එම අභියෝගයට මුහුණ දෙමින් තමන් ද ඒ ආකාරයෙන් ම එම ස්ථානයේ රැඳී සිටිමින් නිරුවත පෙන්වමින් ඡායාරූපයක් ලබාගෙන මූණුපොතට යොමු කළ බව ද සඳහන් කොට තිබේ. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ තම මුහුණු පොතට වැඩියෙන් කැමැත්ත( like) එකතු කරගැනීම බව ප්‍රකාශ කොට තිබේ.

 කෙසේවෙතත් අත්අඩංගුවට ගත් තිදෙනා හෙට (27) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සාක්ෂි සඳහා යොදා ගත් තරුණයන් දෙදෙනා  ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු මුදාහැරීමට කටයුතු කරන බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 පිදුරංගල  ගල මත සිට මෙවැනි අසභ්‍ය ඡායාරූප ලබාගෙන අන්තර්ජාලය හරහා මුදාහැර ඇති බව 25 දින පෙරවරුවේ පැමිණිලි ලැබුණු බවත් ඒ අනුව අද (26)  පස්වරු 01  වනවිට එම සියලු දෙනාම හඳුනාගෙන අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පරීක්ෂණ පවත්වන   පොලිසිය කියයි.

  මෙම පිරිස අත්අඩංගුවට ගැනීමත් සමග බොහෝ දෙනෙකු සීගිරිය පොලිසිය ඉදිරිපිටට පැමිණ ඔවුන් බැලීම සඳහා පැමිණ සිටි බව පොලිසිය කියයි. කෙසේවෙතත් එම සැකකරුවන් ගේ ආරක්ෂාව මත ඔවුන් පොලිසිය තුළ සිට ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කරනු ලැබූ බවද පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම තරුණයන්ගෙන් දෙදෙනෙකු කුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ අය බවත් පොලිසිය කියයි. අනිත් සිසුන් ගලේවෙල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ සිසුන් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් .කේ.සි .ටි . රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

No comments:

Powered by Blogger.