රන් අත් පළඳනාව ගන්න 7 හැවිරිදි සිසුවා මැරූ මීගමුවේ නරුමයා


මෙම සිද්ධියේදී මරණයට පත්වුණේ අපේ එකම පිරිමි දරුවායි. ක්‍රිකට්‌ ගහන්න කියලා උදේ නිවසින් ගිය පුතාගේ සිරුර පසුදා අප නිවසට ටිකක්‌ දුරින් තියන සුසාන භූමිය අසල පිහිටි ගහක්‌ යට මඩ ගොඩක්‌ තුළ වළලා තිබී පොලිසිය සොයා ගත්තා යැයි මීගමුව තලාදුව කඩොල්කැලේ පදිංචි ඩබ්ලිව්. එස්‌. ජොසිලා ප්‍රනාන්දු
(40) නමැත්තිය බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ සාක්‌ෂි දෙමින් පැවසුවාය.

හත් හැවිරිදි දරුවකුගේ අතෙහි වූ රන් අත් පළඳනාව (බේස්‌ලට්‌) පැහැර ගැනීම සඳහා එම සිසුවා පැහැරගෙන ගොස්‌ ඔහුගේ ගෙල සිරකර අමානුෂිකව මරා සැඟවීම සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්‌ෂි දෙමින් ඇය එසේ පැවසුවාය. මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ විත්තිකරු වූයේ මීගමුව කුරණ රජයේ නිවාසයන්හි අංක 37 හි පදිංචි ගීතකගේ ආසිරි ප්‍රසංග සිල්වා නොහොත් රංග (30) නමැත්තෙකි.


2005 ජනවාරි මස 1 වැනි දින (අලුත් අවුරුදු දින) මීගමුව තලාදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 7 හැවිරිදි ඩබ්ලිව්. නිශාන්ත සජීව් තමෙල් නමැති සිසුවා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙහි විත්තිකරු අධිචෝදනා ලබා තිබිණි. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතාගේ මෙහෙයවීම මත මෙහි සාක්‌ෂිකාරිය වන එස්‌. ජොසිකලා ප්‍රනාන්දු මහත්මිය තවදුරටත් සාක්‌ෂි දෙමින් මෙසේ පැවසුවාය.

මෙම ඝාතනය සිදුවූ 2005 ජනවාරි මස 1 වැනිදා අලුත් අවුරුද්දට පල්ලි ගිහින් ඇවිත් මමත්, මගේ සැමියාත් ඝාතනයට ලක්‌වූ පුතාත් අප නිවසේ සිටියා. උදේ 10.45 ට පමණ මෙම සිද්ධියෙන් මියගිය පුතා ක්‍රිකට්‌ ගහන්න යනවා යෑයි පවසා ගෙදරින් පිටව ගියා. ඒ අවස්‌ථාවේ පුතාගේ ගෙලෙහි වූ රන්මාලය ගළවා මට දුන්නා. පුතාගේ රන් අත් පළඳනාව ගැළවීමට හැදුවත් එහි ගාන්චුව (ලොක්‌ එක) තදයි කියා ඔහු බේස්‌ලට්‌ එකක්‌ දාගෙන ක්‍රීඩා කරන්න ගියා.

එදින දවල් පුතා නිවසට නොපැමිණි නිසා මමත් මගේ සැමියාත් ගමේ ජනතාවත් එක්‌වී පුතා ගැන සොයා බලුවත් ඔහු හමුවුණේ නැහැ. පසුව අපි මේ පිළිබඳව මීගමුව පොලිසියට පැමිණිලි කළා. මෙහි විත්තිකරු වන රංග නමැත්තා සිද්ධිය වූ දිනවල පදිංචිව සිටියේ මෙම නඩුවේ විත්තිකරුවකු සිට පසුව නිදහස ලැබූ නැපෝලියන් නමැත්තාගේ ගෙදරයි. ඔහු එම නිවසේ කුලියට හිටියා.

සිද්ධියට පසුදා එනම් ජනවාරි 2වැනිදා මගේ පුතාගේ සිරුර තලාදුව සුසාන භූමියට යාබදව තියෙන ගසක්‌ යට මඩ ගොඩක්‌ යට වළලා තිබියදී පොලිසිය විසින් සිරුර සොයා ගත්තා. එම අවස්‌ථාවේ පුතාගේ අතේ පළඳගෙන තිබූ රන් අත්පළඳනාව තිබුණේ නැතැයි ඇය පැවසුවාය.

මෙහිදී විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා විසින් සාක්‌ෂිකාරියගෙන් හරස්‌ ප්‍රශ්න ඇසූ අතර වැඩිදුර විභාගය ඔක්‌තෝබර් මස 8 වැනි දින දක්‌වා කල් තැබීය.

- විමල් කීර්ති -

No comments:

Powered by Blogger.