අලුත්ගමදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය අමානුෂික ලෙස පහර දීලා (VIDEO)

අලුත්ගමදී මානසික ආබාධිත දරුවෙකුට පොලීසිය අමානුෂික ලෙස පහර දීලා (VIDEO)

ඔටිසම් රෝගයෙන් පෙළෙන 14 හැවිරිදි දරුවෙකුට පොලිස් නිලධාරින් පිරිසක් අමානුෂීය ලෙස පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

තාරික් නම් මෙම 14 හැවිරිදි දරුවා අලුත්ගම, දර්ගා නගර් හි සිය පියා සමග ජිවත් වේ. ඔටිසම් රෝගයෙන් පෙළෙන තාරික්ගේ මව ඔහු කුඩා කාලයේදීම අත්හැර ගොස් තිබෙන අතර මෙම දරුවාගේ පියා වෙළදසැලක සේවය කරමින් සිය දරුවා රැක බලා ගනු ලබන බව වාර්තා වේ.

ඉකුත් මැයි මස 25 වෙනිදා තාරික් අසල වෙළඳසැල වෙත ගොස් ඇති අතර දර්ගා නගර් හි පිහිටි අඹගහ මංසන්ධිය අසල හි ස්ථාපිත පොලිස් මුරපොළේ රාජකාරියේ නියුතු නිලධාරින් පිරිසක් ඔහුව අල්ලා ගෙන අත් ගැට ගසා අමානුෂීය ලෙස පහර දී ඇත.

සිය දරුවාට පොලිස් නිලධාරින් විසින් පහර දෙන බවට දැන ගන්නට ලැබීමත් සමග ඔහු විසින් එම ස්ථානයට ගොස් තිබේ. තමන් එම ස්ථානයට යන විටත් දරුවාගේ අත් ගැට ගසා තිබු බවත් ඔහුට දරුණු ලෙස පහරදී තිබු බව ඒ.එච්.එම්. වසීර් නම් දරුවාගේ පියා ප්‍රකාශ කර තිබේ.

තම දරුවා ඔටිසම් රෝගයෙන් පෙලෙන බවට කරුණු පැහැදිලි කොට දරුවාව පොලිසිය භාරයෙන් මුදවා ගෙන අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට පැමිණියත් එහි සිටි නිලධාරින් එය භාර නොගත් බව ඔහු ප්‍රකාශ කළේය.

ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාවට දරුවාව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකි බවට පොලිස් නිලධාරින් ප්‍රකාශ කළ බව පවසන ඔහු පසුව පහර කෑමට ලක්වූ තම දරුවා නාගොඩ රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබාදුන් බව කියා සිටියේය.

තම දරුවාට මුහුණ දීමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ට ලිඛිතව සිදුකළ පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

No comments:

Powered by Blogger.