ජන්දෙට ග්‍රීන් ලයිට් කිව්වට තියෙන්නේ ඇම්බර්... හෙමින් තමයි යන්න ඕනේ - මැ.කො.

හමැතිවරණය සඳහා සෞඛ්‍ය අංශ විසින් කොළ එළිය දල්වා ඇති බවක් කීව ද එය කොළ එළියම නොව කහ එළිය බවත් එනිසා ගමන යායුත්තේ සෙමින් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

"ඔව් ඉතිං ඒක ග්‍රීන් ලයිට් කිව්වාට ඇම්බර් නේද ? දැන් රටේ තත්වය බැලුවාම අපි හෙමින් තමයි යන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෙවර මැතිවරණයේදී පෑන් ආධාරයෙන් ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම වෙනුවට ඇඟිල්ලට තීන්ත බිංදුවක්  හෙළීමට සූදානම් කර ඇති බව පැවසූ ඒ මහතා මැතිවරණය සඳහා පෙරහුරුවක් ද ලබන ඉරිදා දිනයේදී පැවැත්වීමට සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රකාශ කළේය. මෙය කොළඹින් පිටත ගමක හෝ නගරයක සිදු කෙරෙනු ඇති බව පැවසූ ඒ මහතා පැයක් තුළ 100ක් 200ක් අතර සංඛ්‍යාවක් මීට සහභාගී කර තත්වය පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

එසේම අගෝස්තු 8 වෙනිදා හෝ 15 වෙනිදා මැතිවරණය පැවැත්වෙනු ඇතැයි පැතිරයන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එවන් තීරණයකට තවමත් කොමිසම එළඹ නොමැති බවත් තමන් නම් පෞද්ගලිකව එම දින දෙක යොදා නොගන්නැයි කොමිසමට යෝජනා කරන බවත්ය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති වැඩසටහනකට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.