ආනන්ද සංගරීගෙන් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව දෙමළ සන්ධානයක්

ආනන්ද සංගරීගෙන් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව දෙමළ සන්ධානයක්

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) නායක  ආනන්ද සංගරී මහතා  දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව දෙමළ සන්ධානයක් පිහිටුවීමට මේ දිනවල පක්ෂ කීපයක් සමග ඒ මහතාගේ නිවසේ සාකච්ඡා ආරම්භ කොට තිබේ.

ඔහු පවසන්නේ දෙමළ ජාතික සන්ධානය සමස්ත දෙමළ වැසියන්ව රවටා ඔවුන්ට කිසිදු යමක් සිදු කොට නොමැති නිසා ඊට එරෙහිව සෙසු දෙමළ පක්ෂ සන්ධාන ගත විය යුතු බවයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළුවලට විසඳුම් ගෙන ඒම වෙනුවෙන් මෙම සන්ධානය ගොඩනගන බවත් මේ වනවිට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟත්වය හා කැමැත්ත පළකර තිබෙන බවත් ද්‍රවිඩ විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.ආනන්ද සංගරි මහතා පැවසීය‍.

දෙමළ ජාතික සන්ධානය දේශපාලන වාසි අරභයා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ඉල්ලීම් පාවාදෙන බවත් එම ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීම වෙනුවෙන් ජනතාවාදී දේශපාලන බලවේගයක අවශ්‍යතාවක් පවතින බවත් මේ හේතුව මත දෙමළ දේශපාලන පක්ෂ රාශියක් ඒකරාශී වී නව සන්ධානයක් ගොඩනැගීමට මූලිකත්වය ගත් බවත් සංගරි මහතා කීය.

දෙමළ ජනතාවගේ අර්බුදයට විසඳුම් ගෙන ඒමට නම් දෙමළ දේශපාලන පක්ෂ පොදු ස්ථාවරයක සිටිමින් පුළුල් දේශපාලන බලවේගයක් පිහිටුවාගත යුතු බවට සහ ඒ සඳහා ද්‍රවිඩ විමුක්ති පෙරමුණ මූලිකත්වය ගතයුතු බවට උතුරේ සිවිල් සංවිධාන රැසක් තමාගෙන් ඉල්ලීම් කළ බවත් එම ඉල්ලීම්ද සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ආනන්ද සංගරි මහතා කියා සිටියේය.

ඒ අනුව උතුරේ දේශපාලන පක්ෂ රැසකටම මෙම ආරාධනාව සිදුකර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා ද නුදුරේදීම අරඹන බවත් ඉදිරි මැතිවරණයට පෙර නව සන්ධානය ගොඩනැගීමට බලාපොරොත්තු වන බවත් සංගරි මහතා කීවේය.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.