නව සන්ධානයෙන් ජනපති අපේක්ෂකයෙකු පත් කර දේශපාලනයේ පෙරළියක් කරනවා - අගමැති

නව සන්ධානයෙන් ජනපති අපේක්ෂකයෙකු පත් කර දේශපාලනයේ පෙරළියක් කරනවා - අගමැති

රට ගොඩනැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්‍ෂකයා නම් කිරිම සමාන්තරව සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ වික්‍රමසිංහ මහතා සන්ධානයට එක්වන සියලූ දේශපාලන පක්‍ෂ තම තමන්ගේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් සන්ධානය හා අත්වැල් බැදගන්නා බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ අංකුඹුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹිමෙන් හා අංකුඹුර නව බස් තැවතුම්පොළ විවෘත කිරිමෙන් පසු පැවති ජනහමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ආණ්ඩුව ගමට කිසිවක් කර නැහැ කියා ඇතැමුන් චෝදනා කරනවා. ඒ චෝදනා අපට පිළිගන්න බැහැ. අපි සෑම ගමකටම වසරකට අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ ලබාදී තිබෙනවා. එවැනි සංවර්ධනයක් රට තුළ ඇති කිරීමට අවශ්‍ය මුදල් අමාරුවෙන් අප සොයාගත් බව සඳහන් කළ යුතුයි. 2015 වසරේ රට භාරගන්නා අවස්ථාවේ රට ඉදිරියට ගෙන යෑමට මුදල් තිබුණේ නැහැ. 2009 වසරේ යුද්ධය අවසන් වුවත් 2010 වසරේ සිට රට සංවර්ධනය කරනවා වෙනුවට විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ආණ්ඩුව ගෙන යා නොහැකි තැනකට පත්ව තිබුණා. ඒ නිසා වසර දෙකක් ඉතිරිව තිබිය දී ජනාධිපතිවරණයක් කැඳවීමට පසුගිය පාලකයින් තීරණය කළා."

"වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් අකමැත්තෙන් වුවත් කැඳවීමට ඔවුන්ට සිදු වුණා. අපි රට භාරගන්නා අවස්ථාවේ ණය ගෙවීමටවත් මෙරට මුදල් තිබුණේ නැහැ. අපි භාරගන්නා විට රටේ තත්ත්වය එය වුවත් රටේ ආර්ථිකය ස්ථාවර කර දියුණු කිරීමට පසුගිය කාලය තුළ අප කටයුතු කළා. ඒ නිසා ණය ගෙවීමට හැකියාවක් තිබෙන බව විශ්වාසයෙන් කිව යුතුයි. ණය ලබාගෙන හෝ ණය ගෙවිය හැකි තත්ත්වයකට අපි දැන් පැමිණ තිබෙනවා. අයවැය මගින් රටේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට අප පියවර ගත්තා. වැට් බදු පැනවීමේදී බොහෝ පිරිස් අපට දෝෂාරෝපණ එල්ල කළා. එලෙස උපයාගත් ආදායම් අපතේ නොයවා මෙවැනි විශාල සංවර්ධනයක් රට පුරා සිදු කර තිබෙන බව සඳහන් කරන්න කැමැතියි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

No comments:

Powered by Blogger.