තව මාස 5කින් ජනතාවට අලූත් ආණ්ඩුවක් හදන්න අවස්ථාවක්

තව මාස 5කින් ජනතාවට අලූත් ආණ්ඩුවක් හදන්න අවස්ථාවක්

තව මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (15) පෙරවරුවේ එක් වෙමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටට ආදරය කරන අවංක දේශපාලනඥයන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට කැප වන බවයි.

එමෙන්ම සංවර්ධනයේ යෝධ රෙජිමේන්තුව වන ලක්ෂ 16 ක් වූ රාජ්‍ය සේවයකයන් සහ මේ රටේ උගතුන් සහ පරිනතයන් සිය කාර්යයන් නිසි ලෙස ඉටුකරන්නේ නම් සංවර්ධනය අභියෝගයක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වතුකරයේ ජනතාව වෙනුවෙන් කිසිදු යුගයක ඉටු නොකළ වැඩකොටසක් ඉකුත් වසර 05කට ආසන්න කාලය තුළ ඉටුකර තිබෙන බවයි. 

එම ජනතාවගේ නිදහස් සෞඛ්‍ය මෙන්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ද සෙසු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ද එහි දී පුළුල් වැඩකොටසක් ඉටුකර තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රටක් විනාශ කිරීමට ඇති පහසුතම මග නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂවල සහ එක් එක් දේශපාලඥයන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර හේතුවෙන් රටට යහපත් වූ කාර්යයන් සඳහා කොපමණ වෙහෙස වුවද ඉන් ප්‍රයෝජන ලබා ගැනීම අපහසු වී ඇති බවයි.

එබැවින් රටට යහපත් වූ සෑම කාර්යයකදීම දේශපාලනඥයන් පටු න්‍යාය පත්‍රවලින් බැහැරව අවංකව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ රුපියල් බිලියන 07ක් වැය කරමින් ඉදිකර ඇති මෙම රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකීර්ණයකින්, නවීන තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය, හෙද නිල නිවාසවලින් සමන්විතව අංග සම්පූර්ණ රෝහලක් ලෙස ඉදිකර තිබේ.
 
මෙහි ඉදිකිරීම් 2012 වර්ෂයේ දී ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරුණු අතර නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සුරක්ෂිත ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම ද අපේක්ෂා කෙරේ. 

සමරු ඵලකය නිරාවරණය කර නව රෝහල ජනතා අයිතියට පැවරූ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

රෝහල සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගීන් තිදෙනා ලියාපදිංචි කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. 


 

No comments:

Powered by Blogger.