ජනපතිට දැන් කිසිම පිහිටක් නෑ.. අපේ අපේක්‍ෂකට සහාය දී ගෞරවයෙන් පැන්ෂන් යන්න - පොහොට්ටුව කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් රිෂාඩ් බදියුදීන් ඇතුළු අන්තවාදී දේශපාලනඥයන් ගලවා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ මෙහෙයුම අවසන් අදියරට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
රිෂාඩ්ට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු වී නැතැයි අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනුයේ ඒ නිසා බව පැවසූ  රණතුංග මහතා තේරීම් කාරක සභාව අවසන් වාර්තාවක් දී නොමැති අවස්ථාවක රිෂාඩ්ට චරිත සහතික දීමට අගමැතිවරයාට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කටාන ආසනයේ කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීමට තව තියෙන්නේ දින 120ක පමණ කාලයක්. ජනාධිපතිවරණය ළං වෙන්න වෙන්න එක එක පිල්ලි මතු වෙනවා. ප්‍රාදේශීය සභාවකටවත් තේරී පත්වෙන්න බැරි වෙච්ච අයත් ජනාධිපති හීන දකිමින් ඉන්නවා. 2015 ජනාධිපතිවරණයේ දී බලගතු මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කරන්න සිරිසේන මහත්තයාට පුළුවන් වෙච්ච හින්දා හැමෝම හිතනවා තමන්ටත් දිනන්න පුළුවන් කියලා.

කිරිඇල්ල මහත්තයාගේ වචනයෙන් කිව්වොත් ඕනේ ගොනෙකුට ජනාධිපති වෙන්න පුළුවන් කියලයි මේ අය හිතාගෙන ඉන්නේ. ඒ අදහස වැරැදියි. 2015 දී මේ රටේ ජනතාව වෙනසකට ගියේ ඒ වෙනකොට මතු වෙලා තිබුණු හේතු කාරණා නිසයි. හැබැයි ජනතාව දැන් දන්නවා ලැබුණු දෙයක් නැති බව. වෙච්ච එකම දේ තමයි දියුණුවේ මාර්ගයට අවතීර්ණ වෙලා තිබුණු රට ආපස්සට හැරවීම පමණයි.

ඒ නිසා ජනාධිපති හීන දකින අයට අපි කියන්න කැමැතියි මේ පාර දිනන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා කියන එක. මොකද ජනතාව දැන් ප්‍රාර්ථනා කරන වෙනස රට වෙනුවෙන් කරන්න පුළුවන් පොහොට්ටුවට පමණක් නිසා. ජනාධිපති හීන දකින අපේක්ෂකයන්ට වගේම හීනෙන් ජනාධිපති ආර්යාවන් වෙලා ඉන්න භාර්යාවන්ටත් කියන්න තියෙන්නේ ඕවා හැබෑ වෙන හීන නෙමේ කියන එකයි.

මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ භාර්යාව දැන්ම ඉඳන් ජනාධිපති ආර්යාවගේ සළුපිලි ඇඳගෙන ඉන්න බව. එතුමියගේ නැන්දම්මා වෙච්ච හේමා ප්‍රේමදාස මහත්මිය ආර්යාවගේ උණ අරගෙන හැසිරෙච්ච විදිය අපට අමතක නැහැ. මේ විගඩම් දකින අපිට හිතෙන්නේ මේ අය දැන් මෙහෙම නම් හරියට ජනාධිපති පුටුවේ ඉඳගත්තොත් ජනතාවට මොනවා වෙයිද කියලයි.

දැන් කාට කාටත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය අමතක වීගෙන යන බවක් පේනවා. ත්‍රස්තවාදයට, අන්තවාදයට උඩගෙඩි දුන් මුස්ලිම් දේශපාලනඥයන් දැන් හැසිරෙන්නේ හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තුරු වගෙයි. එදා රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවා නම් මේ උපාසක මහත්තුරුන්ගේ සිල් රෙදි ගැලවෙන හැටි බලන්න තිබුණා.

මේ අය බේර ගත්තේ රනිල් වික්‍රමසිංහයි. ඒක තමයි දැන් රනිල් කියන්නේ රිෂාඩ් වැරැදිකාරයෙක් නෙමේ කියලා. එහෙම කියන්න රනිල්ට තියෙන අයිතිය මොකක්ද? රනිල් මේ රටේ අගමැති මිසක් පොලිස්පති නෙමෙයි. හොරාගේ අම්මගෙන් පේන අහන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරලා විශ්වාසභංගය අහකට දැම්මේ රිෂාඩ්ව බේර ගන්න කියන එක ජනතාවට රහසක් නෙමෙයි.

රනිල් දන්නවා ඕනෙම දෙයක් ගැන කතාබහ තියෙන්නේ මාසයයි, දෙකයි කියලා. ඒ නිසා මාස දෙකක් කල්මරන්න  තේරීම් කාරක සභාව පත් කළා. ඒකේ වාර්තාවක් දීලත් නැතුව, පරීක්ෂණ ඉවර වෙලත් නැතුව දැන් රනිල් කියනවා රිෂාඩ් සුදනා කියලා. රනිල් මහත්තයෝ ඔයාලා රිෂාඩ්ලා බේරලා සතුටින් ඉන්න , හැබැයි අපේ ආණ්ඩුවක් ආපු ගමන් ඔය සිද්ධි සේරම මුල ඉඳන් අගට හොයන බව මතක තියා ගන්න.

අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට රට පුරාම ලොකු විරෝධයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සිරිකොතේ වැසිකිලි හෝදන තත්ත්වයට වැටිලා තියෙන නිසා ඒ අයගේ කාඩරයන් පක්ෂය අතහැර යනවා. අනුර කුමාර උන්නැහේ රනිල් හාමුවත් බේරගෙන පාක්ෂිකයනුත් රවට්ටන්න ගහපු සුපිරි ගේමක් තමයි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කියන්නේ.

එදා අපිට මතකයි ඔක්තෝබර් පෙරළිය වෙලාවේ රනිල් අගමැති පුටුවේ වාඩි කරවන්න අනුර කුමාර ගත්තු මහන්සිය. දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය එක්ක දවස් ගණන් සාකච්ඡා කරලා විශ්වාසභංග සම්මත කරලා, උසාවි ගිහින් හාමුව ආයෙත් පුටුවට ගෙනාවා. හැබැයි මේ පාර ගෙනාපු විශ්වාසභංග යෝජනාව ගැන කිසිම පක්ෂයක් එක්ක සාකච්ඡා කරලා නැහැ.

දැන් අහනවා අපි මොකටද කා එක්කවත් සාකච්ඡා කරන්නේ කියලා. එතකොට අනුර කුමාර මහත්තයෝ එදා සාකච්ඡා කළේ මොකටද? හාමුට තියෙන බයටද? දෙමළ ජාතික සන්ධානයට කප්පම් දීලා විශ්වාසභංග යෝජනාව දිනාගන්න රනිල්ට පාර හදලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා ඒ දීපු කප්පමට ජනතා විමුක්ති පෙරමුණත් වගකියන්න ඕනේ.

ආණ්ඩුවයි ජනාධිපතියි හැමදාම රණ්ඩු වෙනවා. හැබැයි එකට කැබිනට් මණ්ඩලයේ වාඩි වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපෘතිවලට කෝටි ගණන් මුදල් වෙන් කරන කොට ජනාධිපති සද්ද නැහැ. බොරුවට එළියට ඇවිත් ජනතාවට කියනවා ආණ්ඩුව වැඩක් නැහැ කියලා. හැබැයි උන්නැහෙට අමතක වෙලා තියෙනවා ඒ වැඩකට නැති ආණ්ඩුවේ ප්‍රධානියා තමා බව.

එක පැත්තකින් ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න යනකොට එයාගේ ආණ්ඩුවේම අය යෝජනාවක් ගේනවා මරණ දඬුවම අහෝසි කරන්න. ජනාධිපතිවරයා කියනවා ඒ යෝජනාව ගේන දවස ශෝක දිනයක් කරනවා කියලා. අපට මතකයි මන්ත්‍රීවරුන් 225ම අත්සන් කළත් ආයේ රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියපු හැටි. කැබිනට් එකට එන්නේ නැහැ කිව්ව හැටිත් අපට මතකයි.

ඒ නිසා සිරිසේන මහත්තයාගේ කතා අපි විශ්වාස කරන්නේ නැහැ. එතුමට දැන් පිළිසරණක් නැහැ. ආයෙත් මේ රටේ ඡන්දයකින් දිනන්නත් එතුමට පුළුවන්කමක් නැහැ. කරන්න තියෙන එකම දේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහයෝගය දීලා ගෞරවණීයව විශ්‍රාම යන එක විතරයි. අවුරුදු පහක්ම රට ආපස්සට ඇදගෙන යාමේ චෝදනාවෙන් ගැලවෙන්න එතුමට බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඉන්දික අනුරුද්ධ, හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිශ්චන්ද්‍ර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර


No comments:

Powered by Blogger.