"පසුගියදා පාර්ලිමේන්තුවේ හැසිරුණ විදිහට තේරෙනවා කොකේන් ගහපු අය බව" - මෛත්‍රී

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයින් ලෙස පාර්ලිමේනතුවේ හැසිරුණ ආකාරය දෙස බැලීමේදී කොකේන් මත් ද්‍රව්‍ය  පානය කර ඇති බව පෙනී යන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

ලිඳුල ප්‍රදේශයේ වතු රෝහල් හා පාසල් පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා එසේ පැවසීය.

වතුකරයේ පාසල් හා රෝහල් ඉතාමත් පහත් තත්වයක ඇති බව තමන්ට දැනගන්නට ලැබුණ බවත් ඒ සම්බන්ධව නිරීක්ෂණය කිරීමට තමන් ඊයේ (27) දින ලිඳුල ප්‍රදේශයට පැමිණි බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද කීය.

"වතුකරයේ ජනතාව අවුරුදු ගණනාවක් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩකර තිබෙනවා. මගේ කාලය තුළ විශේෂයෙන් වතු පාසල් හා රෝහල් පද්ධතිය හොඳට හදල ඒ අයට ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන කටයුතු කරන්න සලසනවා. ඊට අමතරව වතු පාරවල් ඉතාමත් අබලන් තත්වයකට පත්වෙලා තිබෙනවා. මේවට පළාත් සභාවල මුදල් නෑ. නමුත් අපිට මුදල් ලබා ගැනීමට මොකක් හෝ ක්‍රමවේදයක් සොයාගන්න වෙනවා. මේ පාරවල් වලින් දාස් ගණනක් ජනතාව එහා මෙහා යනවා. පාරවල විනාශ වෙලා තියෙන නිසා පැය ගාණක් යනවා. අසනීපයක් වුණ වෙලාවට මේ රෝහල් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා එක්කෝ ඒ අය නුවරඑළියට හෝ මහනුවරට විශාල මුදලක් වැය කර ගිනියන්න වෙනවා. වතුකරයේ ජනතාව සමහර වෙලාවට රුපියල් හාරසීයයි, පන්සීයයි පඩි ගන්නනේ. ඒ අයට එහෙම යන්න හැකියාවක් හා වත්කමක් නෑ. ඒ අයගේ සියලු රත්‍රන් බඩු උගස් තියල තමයි මේ වැඩේ කරන්නේ. අවුරුදු ගාණකට ණය වෙනවා. ඒ තත්වයෙන් මුදවා ගන්න තමයි මම මේ ප්‍රදේශයේ ආණ්ඩුකාරයා විදිහට වැඩ කරන්නේ.පාර්ලිමේන්තුවේ සිදුවුණ දේවල් ගැන මම පුදුමයට පත් වෙන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද කිසිම විනයකින් නොවෙයි වැඩ කරන්නේ. පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ හැසුරුණ ආකාරය දැක්කම අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන් බෑ. කොකේන් ගහපු කට්ටිය හැටියට තමයි හැසිරිලි තියෙන්නේ. රන්ජන් රාමනායක මහතා කියපු විදිහට විහාල පිරිසක් ඉන්නවනම් කතානායක තුමාගේ රාජකාරිය තමයි ඒ කට්ටිය අයින් කරන එක"

"නැතිනම් ඒ කට්ටිය ජනතාවට පෙන්නන්න. ඒ වගේම ජනතාවත් තීරණය කරන්න ඕන කොයිවගේ පිරිසක්ද පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුත්තේ කියල. ජනතාවත් එදා වෙලාවට ඇවිත් හාල් ටිකක් පොල් ටිකක් දුන්නම ප්ලිස්ටික් පුටු ටිකක් දුන්නම ඒ අය ඡන්දේ දෙනවා. ඡන්දේ දීල ඔය ඉන්න කට්ටියම නැවත පාර්ලිමේන්තුවට පත් කරල යවනව. මේ අය පාර්ලිමේන්තුවට ගිහින් ජනතාවට සේවය කරන්නේ නෑ. ඒ අය බිස්නස් කරන එක තමයි කරන්නේ. බිස්නස් කරපු නිසා මේ පළාත්වල ජනතාව අදලදුක් විඳිනවා. ඒ නිසා රන්ජන් රාමනායක මහතාගේ පැමිණිල්ල හොඳයි. පැමිණිල්ල විභාග කරල මන්ත්‍රීවරුන්ට කොකේන් ගන්නේ නැත්නම් ඒ අයට පුලුවන් වෛද්‍ය වාර්තාවක් අරගෙන පාර්ලිමේන්තුවේ හරි ජාතික රෝහලට ගොස් ලේ පරීක්ෂාවක් සිදු කර අපි ඒකට සම්බන්ධ නෑ කියල. ඒක කරන්නේ නැත්නම් අපිට සිදුවෙනවා නිගමනයකට එන්න වෙනවා මේ අය ඒක කරනවා කියල. මධ්‍යම පළාත් සභාවේ ඡන්දය තියයි කියල මම හිතන්නේ නෑ. ඒක වැරදි වැඩක්. ඒක තියන්න ඕන, පළාත් සභාව නැතිව මේව කරගෙන යන්න හොඳ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජනතා මතය තමයි වැදගත් වන්නේ. ප්‍රජාතන්තුවාදී රටක කළින් කළ ඡන්ද තැබිය යුතුයි.  ඡන්ද පහුකරනවනම් ජනතාවගේ කැමැත්තට පයින් ගහනව කියන එක තමයි මට කියන්න තියෙන්නේ."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

(ක්‍රිෂාණ්තන්)

No comments:

Powered by Blogger.