සැලසුම් සහගත ආගමික ගැටුමකට ඉඩ නොතැබිය යුතුයි - මුජිබර් කියයි


මාවනැල්ල ප්‍රදේශයේ ජාතීන් අතර ආගමික ගැටුම් නිර්මාණය කිරීමෙන් නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබීම කනගාටුවට කරුණක්. ජාතීන් අතර අසමඟිය වර්ධනය කර ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන ජාතිවාදී පිරිස් ඉක්මනින් හඳුනා ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.
මාවනැල්ල ප්‍රදේශයේදී බුදු පිළිම කීපයක් කඩා දැමීමේ නීච ක්‍රියාව සහ එම හේතුව නිසා ප්‍රදේශයේ ඇතිවී තිබෙන නොසන්සුන් තත්ත්වය පිළිබඳ මන්ත්‍රිවරයා මේ බව කීවේය.
බුදුන් වහන්සේගේ පිළිමවලට මෙවැනි හානියක් සිදුකර රටේ ජාතික සමඟියටත් ආගමික සංහිඳියාවටත් සාමය හා සහජීවනයටත් හානි කරන අශීලාචාර ක්‍රියාවන්ට එරෙහිව ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වන අප කවුරුත් දැඩිව ක්‍රියාකළ යුතුව ඇතැයිද මන්ත්‍රිවරයා පැවැසීය.
මෙැවනි ම්ලේච්ඡ අපරාධයන් සිදු කරන අය මොන ජාතියකට අයත් පුද්ගලයන් වුවද දැඩි විමර්ශනයට ලක්කර රටට හෙළි කිරීමට රහස් පොලිසිය උපරිම උත්සාහ කළ යුතු අතර, මේ ආගමික අපරාධකරුවන් වහාම නීතියේ ඉදිරියට ගෙන යායුතු බවත්, ජාතීන් අතර අසමඟියක් ඇතිකර ජාතිවාදය වපුරන්න උත්සාහ දරන මෙවන් අපරාධකාරයන්ට මේ රටේ ජනතාව ජාති, ආගම්, කුලභේදවලින් තොරව තම විරෝධය ප්‍රකාශ කළ යුතු බවත්, රටේ සාමය, සමඟිය හා සහජීවනය අගයන සියලුම ජන කොටස්වල බලාපොරොත්තුවත් එයම බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

www.reporter.lk

No comments:

Powered by Blogger.