යුද වැදුණු දෙපාර්ශවයටම පොදු සමාවක් දිය යුතු බව පාඨලී කියයි



යුද අභිමථාර්ථ සාධනය කරගැනීමට මැදිහත් වූ සෑම කෙනෙකුටම ජාතික පොදු සමාවක් ලබාදෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එම පුද්ගලයන්ට සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට මුසුවීමට අවස්ථාව ලබාදීමට ප්‍රමුඛ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා  ප්‍රකාශ කළේය.

මෙවැනි ජාතික පොදු සමාවක් ලබාදීමට ආණ්ඩුවේ පක්ෂ, විපක්ෂයේ පක්ෂ, දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ සහ දේශීය / විදේශීය පිරිස් එකඟතාව පළකළ පසු නැවත මෙම ප්‍රශ්නය ගැන කතා නොකළ යුතු බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

ඉන්පසුව සිංහල, දෙමළ මුස්ලිම් සංවිධාන යුද්ධය කාලයේ වුණු සිදුවීම් ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා අනාගතය නිර්මාණය කරගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රශ්නය තවදුරටත් ගෙනයෑමෙන් ජාතීන් අතර තුවාලය පෑරෙනවා මිසක සමාජයට කිසිදු සුගතියක් නොලැබෙන බවත්, එය විසඳීම සඳහා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, සියලුම දේශපාලන පක්ෂවලට, ජාතික ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට කරුණු 05ක් යෝජනා කරන බවත් රණවක මහතා කීය.

දැනට අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන්, යුද හමුදාවේ සාමාජිකයන්, ආරක්ෂක අංශවලට සහාය දුන් දෙමළ පිරිස් අතින් යුද්ධයේ අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමේදී සිදු වූ අපරාධ මොනවාද, පෞද්ගලික අභිමථාර්ථ ඉෂ්ට කරගැනීමට ගිය අපරාධ මොනවාද කියා වර්ගීකරණයක් කළ යුතු බවත්, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විශේෂඥයන්ගේ සහාය ලබාගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

යුද අභිමතාර්ථ සාධනය කරගැනීම සඳහා දායක වී දැනට අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග කටයුතු කළ දෙමළ සංවිධානවල සාමාජිකයන්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සඳහා පොදු සමාවක් දී නිදොස් කොට සමාජයට මුදාහැරිය යුතු බවද ඔහු පැවසීය.

No comments:

Powered by Blogger.