හිටපු එජාප මන්ත්‍රී නිමල් ආර් පීරිස් පොලිස් අත්අඩංගුවේ
හිටපු එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පීරිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීමයි.
ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රා යන්ත්‍රයක් ලබා ගෙන ඇති බවත් එම යන්ත්‍රයේ මුද්‍රා කඩා දත්ත වෙනස් කර මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ පත්‍රිකා තැපැල් කර ඇති බවත් පොලීසිය පැවසීය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තලංගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
නිමල් ආර් පීරිස් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙස කටයුතු කරන අතර ඊට අදාළ ලිපි 7564ක් යොමු කිරීම සඳහා වංචනික ලෙස නිදහස් තැපැල් මුද්‍රාව යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
පසුගිය ජුනි 27 වැනි දා ඔහුගේ නිවසේ සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීමක් තිබී ඇති අතර ඊට අදාළ ලිපි ද ඔහු ඒ ආකාරයට විවිධ පුද්ගලයින්ට යවා ඇති බව වාර්තා වේ.
No comments: