ඇඳිරි නීතිය ඉවත්කළ පසු ජනතාවට සීමා රැසක් - ක්‍රියාකළ යුතු ආකාරය ගැන රජයෙන් උපදෙස් මාලාවක්
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු දෙපාර්තමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සමාන්‍ය පරිදි ක්‍රියාත්මක තැබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් තුනෙන් එකක් සේවයට වාර්තාකළ යුතු අතර සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලයෙන් සියයට පනහක පිරිසක් සේවයට වාර්තා කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වාදෙයි.
සෙසු පිරිස් නිවසේ සිට සිය රාජකාරි සිදුකළ යුතු අතර සේවයට වාර්තා කළ යුතු සේවකයින් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි තීරණය කිරිමේ හැකියාව පවතියි.
එමෙන්ම කාර්යාල විවෘත කර පවත්වාගෙන යාමේදි සෞඛ්‍ය අංශවලින් නියම කර ඇති උපදෙස් මුළුමනින්ම අනුගමනය කර යුතු අතර ඊට අදාළ පහසුකම් සැපයීම ආයතන ප්‍රධානීයාගේ වගකීම බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10ට විවෘත කළ යුතු අතර සේවයට පැමිණෙන සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප්‍රධානීන් විසින් සිදුකළ යුතු වෙයි.
පොදු ප්‍රවාහණයට නීති රීති
හෙට සිට රැකියාවලට පැමිණෙන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය ද ධාවනයට එක් කිරීමටයි සැලසුම් කර ඇත.
විෂබීජහරණයට ලක් කර සියළු බස් රථ ධාවනයට එක් කරන බවත් බස් රථයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 25 කට එනම් බස් රථයේ සමස්ත මගී ධාරිතාවෙන් සියයට 50 කට අඩු කරන බවත් ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
හෙට සිට කාර්යාල දුම්රිය සේවය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබෙන අතර දුම්රිය මැදිරියක ගමන් කළ හැකි වන්නේ මගීන් 50 දෙනෙකුට පමණයි.
දුම්රිය ස්ථානයට ඇතුළුවීමේදී සහ දුම්රියෙන් ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වේ. දුම්රිය පරිශ්‍ර තුළ, මැදිරි සහ දුම්රිය මාර්ගයට කෙළ ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එසේ කි‍්‍රයාකරන පුද්ගලයින්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
දුම්රිය මැදිරි සහ පරිශ්‍ර තුළ සිගමන් යැදීම හා අනවසර වෙළදාම සම්පූර්ණයෙන්ම තහනම්. එලෙස අනවසරයෙන් වෙළදාම් කරන පුද්ගලයෙකුගෙන් කිසියම් අයෙකු භාණ්ඩ මිලදී ගතහොත් ඔහුද දුම්රියෙන් ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන්නේ නම් දුම්රිය සේවය භාවිත නොකරන ලෙසයි.
රාජ්‍ය ආයතනවලට මාර්ගෝදේශ මාලාවක්
මේ අතර රාජ්‍ය ආයතන වල දෛනික රාජකාරි කටයුතු යථාතත්වයට පත්කිරිමේ දි එම ආයතන විසින් අනුගමනය කළ යුතු මාර්ගෝදේශ මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පි.බි ජයසුන්දර මහතා විසින් නිකුත් කර තිබේ.
අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තුමේන්තු ප්‍රධානින්, ප්‍රාදේශිය ලේකම්වරුන් , රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් හා සමාන්‍යාධිකාරිවරුන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සේවා ස්ථානයේ කොවිඩි-19 ව්‍යාප්තිය පාලනය සදහා අනුගමනය කළ යුතු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්, සේවකයින් සේවයට පැමිණීමේ යාන්ත්‍රණයක්, මහජනතාව විශාල වශයෙන් ඒකරාශී විම වැලැක්වීම හා නිවසේ සිට රාජකාරි කටයුතු සිදුකරන ආකාරය යන කරුණු 04කින් සමන්විතව එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් ලෙස සියලුම රාජ්‍ය ආයතන විසින් සමාජ දුරස්ථභාවය, මුහුණ ආවරණ පැළදීම, අත් සේදීම සහ අනෙකුත් ක්‍රියාපිළිවෙත් දැඩිව අනුගමනය කළ යුතු වන අතර මහජනතාව නිරන්තරයෙන් පැමීණෙන සේවා ස්ථානයන්හි දෑත් පිරිසිදු කිරිම සදහා පහසුකම් සැළසීම ද සිදුකළ යුතු වෙයි.
අවධානම තවමත් පහව ගොස් නෑ
මීට අමතරව සියලු ආකාරයේ උත්සව, වන්දනා, විනෝද චාරිකා සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය යළි දැනුම් දෙන තුරු තහනම් වන අතර ජනතාව ඒකරාශිවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් වන බැවින් සියලුම ආගමික උත්සවද අත්හිටුවන ලෙස රජය ඉල්ලා සිටියි.
කොරෝනා වසංගත අවධානම තවමත් මුළුමනින්ම පහව ගොස් නොමැති බැවින් සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදීමින් වගකීමෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන ලෙස දැනුම්දෙන ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ ඇදිරි නීතිය ලිහිල් කළද රැකියා සදහා පිටත්ව යාම හැරුණු විට සෙසු සෑම අවස්ථාවකම නිවෙස් වල රැදි සිටින ලෙසයි.
මේ අතර කොවිඩ් 19 වෛරසය ප්‍රජාව අතර ව්‍යාප්ත වීමක් නිරික්ෂණය නොවීම හේතුවෙන් රටේ ජනජීවිතය සමාන්‍ය තත්වයට ගෙන ඒමට මුළික පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මේ අතර ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුවද ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති මාර්ගෝපදේශ පිලිපැදීම අනිවාර්යය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි.
No comments: