විදෙස් රටවල සිරවී සිටින සිසුන් පිරිසක් අද දිවයිනට

විදෙස් රටවල සිරවී සිටින සිසුන් පිරිසක් අද දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩසටහනක් අද ආරම්භ වේ.

පළමු අදියරේදී සාර්ක් කලාපීය රටවල සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතය.

මේ යටතේ පකිස්ථානයේ සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 115 දෙනෙකු විශේෂ ගුවන් යානකයකින් අද දිවයිනට රැගෙන එන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ ය.

මීට අමතරව ඉන්දියාවේ රැඳී සිටින මෙරට සිසුන් 102 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි.

ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මෙම සිසුන් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර පිළිගත් ක්‍රමවේද යටතේ නිරෝධායනයට ලක් කිරීමට සැළසුම් කර ඇති බවය.

මීට අමතරව කොරෝනා වසංගතය හේතුවෙන් දැනට පීඩාවට පත් ව සිටින තවත් රටවල් කිහිපයක රැඳී සිටින මෙරට සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට ද සැළසුම් කර ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව සිංගප්පුරුව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවල් කිහිපයක සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට අවධානය යොමුව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

 

No comments:

Powered by Blogger.