පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම නත්තලෙන් පසු

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම නත්තලෙන් පසු

පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ  පරීක්ෂණයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල්තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානම් වන බව රහස් පොලීසිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ජනවාරි 06 දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල විය.

මෙම නඩුව ඊයේ (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දින ලබාදෙන මෙන් ඉල්ලා තිබුණත් ඔවුන් මෙතෙක් දින ලබාදී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඊට අමතරව මෙම පරීක්ෂණයට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් ගැනීමට රහස් පොලිස් සූදානම් වන බවද දන්වා සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යම් පුද්ගලයකු පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම හිතාමතා ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බවද දන්වා සිටියේය.

නත්තල් අවසන් වීමෙන් පසුව කාදිනල්තුමාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු දක්වා සිටියේය.

ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරුවන් ලබන 6 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

No comments:

Powered by Blogger.