ජනපති නියමයෙන් කුඩු ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් හෙට ප්‍රසිද්ධියේ විනාශ කරයි

ජනපති නියමයෙන් කුඩු ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් හෙට ප්‍රසිද්ධියේ විනාශ කරයි

දිවයින පුරා පොලිස් ස්ථානවලින් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත් මත්කුඩු ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනපති නියමයෙන් හෙට (01) පෙරවරුවේ දී කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණ භුමියේ දී ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතය.

එම මත්කුඩු තොගය විනාශ කිරීම දැක බලා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද සහභාගිවනු ඇති බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බළකාය පවසයි.

නීතිමය කටයුතු අවසන් මත්කුඩු කිලෝ 769ක් පසුගිය 29 වනදා පෙරවරුව වන විට විනාශ කිරීමට සූදානම් කළ ද ඉදිරි දින කිහිපය තුළ තවත් මත්කුඩු තොගයක නීතිමය කටයුතු අවසන් වනු ඇති බවත් ඒ අනුව විනාශ කිරීමට නියමිත මත්කුඩු ප්‍රමාණය ටොන් එකකට ආසන්න විය හැකි බවත් මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බළකායේ නිලධාරියකු පැවැසී ය.

එම මත්කුඩු විනාශ කිරීම අධීක්ෂණයට අධිකරණ විනිසුරුවරුද, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගිවීමට නියමිතය. මත්කුඩු තොග රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකි කිහිපයකට දමා දියකර විනාශ කෙරෙන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

එම රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකිවලට මත්කුඩු දැමීමට පෙර රස පරීක්ෂකවරයා නැවතත් එම මත් කුඩු තොග රසායනික පරීක්ෂාවකට ලක්කර විනාශ කරන්නේ මත්කුඩුම දැයි තහවුරු කරන බව ද එම නිලධාරියා පැවැසීය.

එම මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ අවස්ථාව මාධ්‍යහරහා සජීවීව මහජනතාවට දැක බලා ගැනීමට ද අවස්ථාව උදාකර දෙන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බළකාය සඳහන් කරයි.

එසේ රසායනිකයේ දිය කළ මත්කුඩු ටැංකි පොලිස් ආරක්ෂාවක් සහිතව හෙට සවසම පුත්තලමේ පිහිටි සිමෙන්ති සංස්ථා පරිශ්‍රයට රැගෙන ගොස් අධිතාප උදුන්වලට දමා වාෂ්ප කිරීමට නියමිතය‍.

මේ ආකාරයට පසුගිය වසරේ ජනවාරි 15 වැනිදා ද කොකේන් නමැති මත්කුඩු කිලෝ 926ක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් විනාශ කරන ලදි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ දී රසායනික ද්‍රව්‍ය සමඟ දිය කළ එම කොකේන් තොගය ද පුත්තලමේ සිමෙන්ති සංස්ථා පරිශ්‍රයට රැගෙන ගොස් අධිතාප උදුන්වලට දමා වාෂ්පීකරණයට ලක් කළේය.

එදා එසේ විනාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් 09 වැනිදා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයාගත් කොකේන් කිලෝ 962කි. එම කොකේන් තොගය ඉක්වදෝරේ සිට රැගෙන යමින් තිබුණේ ඉන්දියාවටය.හෙට විනාශ කෙරෙන්නේ රට තුළ දී අත්අඩංගුවට ගත් මත්කුඩු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

No comments:

Powered by Blogger.