ලෝක උරුම සිංහරාජ වනයේ සැලසුම් සහගත ජෛව කොල්ලයක් (photos)



ලෝක උරුමයක් වන සිංහරාජ වන රක්ෂිතය තුළ සිදු වූ "ජෛව කොල්ලය" ඉතා සැලසුම් සහගත අපරාධයක් බවට කරුණු අනාවරණය වී ඇතැයි විමර්ශනවල යෙදෙන වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

අදාළ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

සිංහරාජ රක්ෂිතයේ කෘමි සතුන් සහ ශාක එක් රැස් කළ විදේශිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය සෙනසුරාදා ය (පෙබරවාරි02). අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇත.

රාත්‍රී කාලය තුළ වන සතුන් සහ ශාක එක් රැස් කිරීම සඳහා ඔවුනට ලාංකිකයන් කිහිප දෙනෙකුගේ ද සහය ලැබී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව කලවාන අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර කියා සිටියේය.

විමර්ශනයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ ස්ලෝවැකියානු ජාතිකයන් නවාතැන් ගෙන සිටි, සිංහරාජ රක්ෂිතය සමීපයේ පිහිටා ඇති 'මාටින්ස් ලොජ්හි' හිමිකරු මාටින් විජේසිංහගෙන් ද පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීහු ඉරිදා (පෙබරවාරි 03) කටයුතු කළහ.

සිංහරාජ රක්ෂිතය ආසන්නයේ දිවි ගෙවන මාටින් විජේසිංහ එහි පැමිණෙන පර්යේෂකයන් සහ පරිසරවේදීන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයෙකු වශයෙන් ප්‍රචලිතය.

එමෙන් ම කලවාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව විදේශිකයන් නවාතැන් ගෙන සිටි කාමර පරීක්ෂා කෙරුණු අතර එහිදී වැදගත් සාක්ෂි රැසක් සොයා ගත් බව වන සංරක්ෂණ නිලධාරීහු පවසති.











No comments:

Powered by Blogger.