අනුලා විදුහලේ වසා දමා තිබුණු දහම් පාසල අසාද් සාලි ඇවිත් බලෙන් විවෘත කරලා

නුගේගොඩ අනුලා විද්‍යාලයේ පවත්වාගෙන ගොස් මීට සති දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝගයක් මත වසා දමා තිබූ පෞද්ගලික දහම් පාසලක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ (13) බලහත්කාරයෙන් යළි විවෘත කර ඇත.

එක්තරා ව්‍යාපාරිකයකු විසින් කිසිදු අවසරයකින් තොරව එම දහම් පාසල පවත්වාගෙන ගිය බවද ඒ සඳහා පාසලේ ගොඩනැගිලි හා වෙනත් සම්පත් අවභාවිත කළ බවද නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මය පැවසුවාය.

ඉන්පසුව අධ්‍යාපන අමාත්‍යාංශයට තමා කළ පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණයක් පවත්වා එම දහම් පාසල තාවකාලිකව වසා දමා තිබූ අතර ආණ්ඩුකාරවරයා තමාට දුරකතනයෙන් කතාකර බලහත්කාරයෙන් එම දහම් පාසල අද යළි විද්‍යාල භූමියේ පවත්වා තිබෙන බවද විදුහල්පතිනිය කීවාය. අසාද් සාලි මහතා අනුලා විද්‍යාලයට ඊයේ
පෙරවරුවේ දහම් පාසල් දරුවන් පිරිසක්ද සමග පැමිණ තමාට දුරකතන ඇමතුමක් දී  වහාම ගේට්ටු විවෘත කරන ලෙස බලපෑම් කළ හෙයින් තමා පාසලේ මුරකරුට කතාකර ගේට්ටු විවෘත කරන ලෙස දැන්වූ බවද විදුහල්පතිනිය පැවසුවාය.  තමා ආණ්ඩුකාරවරයා බවත් ජනාධිපතිගේ නියෝජිතයා බවත් අසාද් සාලි මහතා තමාට දුරකතනයෙන් පැවසූ බවද විදුහල්පතිනිය කීවාය.  මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ නුගේගොඩ අනුලා විද්‍යාලය සිය අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික පාසලක් හෙයින් එහි කටයුතුවලට මැදිහත්විමේ බලයක් ආණ්ඩුකාරවරයාට නැති බවය.

ආණ්ඩුකාරවරයා තමාගේ විෂය පථයෙන් බාහිර බලය අනිසි ලෙස යොදා ඇතැයිද අනුලා විද්‍යාලයට ඇතුළු වි බැණවැදිම සදාචාර විරෝධී බවද ඔහු කීවේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීවේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ පවත්වාගෙන යන දහම් පාසල වසා දමන ලෙස අමාත්‍යාංශය මීට සති දෙකකට පෙර එහි පරික්ෂකයන්ට දැනුම් දුන් බවය. අධ්‍යපන අමාත්‍යයට ලැබුණු පැමිණිලි මත පරිකෂණයක් පවත්වා එම පෞද්ගලික දහම් පාසල වසා දමන්නැයි එහි පරිපාලනයට  දැක්වූ බවද එම නිලධාරියා කීය.

-රංජන් කස්තුරි -

No comments:

Powered by Blogger.