නිදහසින් පසු දරුවන් 11,000ක් රට පටවලා
ශ්‍රී ලාංකික දරුවන් එකළොස් දහසක් 1948 වසරේ සිට මේ දක්වා කාලය තුළ යුරෝපා රටවලට දරුකමට හදා ගැනීම සඳහා යවා ඇති බව ස්විස්ට්සර්ලන්තයේ 'ස්විස් ඉන්ෆෝ' වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.
ස්විස්ටර්ලන්තයේ අධිකාරියක මැදිහත් වීමෙන් මෙම දරුවන් හදා ගැනීම සඳහා විදෙස් දෙමාපියන්ට ලබා දීම නීත්‍යානුකූලව සිදු කර ඇති නමුත්, යම් යම් අවස්ථාවලදී සැකකටයුතු සිද්ධීන් වාර්තා වී ඇති බවද එම වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.
1948 වසරේදී ස්විට්සර්ලන්තයේ ඇලිස් හොනෙගර් නම් සමාජ සුබසාධන ක්‍රියාකාරිනියක සහ රුක්මනී තවනේසන් නම් ශ්‍රී ලංකාවේ නීතිඥවරියක එක්ව ශ්‍රී ලාංකික දරුවන් නීත්‍යානුකූලව හදා ගැනීම සඳහා විදෙස් දෙමාපියන්ට ලබා දීම සම්බන්ධයෙන් වැඩසටහනක් දියත් කර තිබෙන අතර එම වැඩසටහනට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ දරුවන් එකළොස්දහසක් යුරෝපා රටවල දරුකමට ලබා දී ඇත.
ඒ අතරින් දරුවන් 700ක් ස්විට්සර්ලන්තයට ලබා දී තිබෙන අතර මෙම වැඩසටහන යටතේ දරුවන් භාරකාර දෙමාපියන්ට ලබා දීම නීත්‍යානුකූලව සිදු වුවද එම දරුවන් සැබෑ දෙමව්පියන්ගෙන් ලබා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් යම් ගැටලුකාරී කාරණා ඇති බව ස්විස් ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
දරුවන් පැහැර ගැනීම, සැබෑ දෙමාපියන්ගේ නිවැරදි තොරතුරු හෙළි නොකිරීම වැනි චෝදනා එල්ල වී ඇති බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ. 1980 වසරේදී ස්විට්සර්ලන්තයේ ඇලිස් හොනෙගර්ට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ජාත්‍යන්තර පොලිසිය ඇයව නිදොස් කොට, නිදහස් කර ඇති බවත් මේ වන විට එම වැඩසටහන සක්‍රීයව ක්‍රියාත්මක වන බවත් එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.
[දිනුක මලින්ද හේරත්]
www.reporter.lk

No comments: