විශේෂ දුම්රිය පීලි පැනිල්ලෙන් අවුල් වූ කළුතර හෙදියන්ගේ විනෝද සවාරිය


කළුතර සිට බණ්ඩාරවෙල දක්වා විශේෂ දුම්රියකින් ගමන් ගත් කළුතර රෝහලේ හෙදියන් ඇතුළු පවුලේ සාමාජිකයන් හැටන් දුම්රිය ස්ථානයේදී තම ගමනාන්තය දක්වා යෑමට වෙනත් දුම්රියක් ඉල්ලා නොසන්සුන්කාරී ලෙස පෙරේදා (18දා) පස්වරුවේ හැසිරුණි.
එම රෝහලේ හෙදියන් 60 දෙනකු ඇතුළු පවුලේ සාමාජිකයන් 225 දෙනකු ඔවුන්ගේ දුම්රිය ගමන් බලපත්‍රය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර එම ගමනාන්තයට යෑම සඳහා විශේෂ දුම්රියක් වෙන්කරගෙන කළුතර දුම්රිය ස්ථානයේ සිට (17දා) දින රාත්‍රි 12ට ගමන් ආරම්භ කර ඇත.
එම දුම්රිය ගමන් බලපත්‍රවලට අමතරව වැට් බදු වශයෙන් රු. එක් ලක්ෂ පනස් දහසකට ආසන්න අමතර මුදලක් ගෙවා ලබාගත් දුම්රියෙන් බණ්ඩාරවෙල දක්වා ධාවනය කිරීමේදී එම හෙදියන් ඇතුළු පවුලේ සාමාජිකයන් පැමිණි දුම්රිය ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථානය අසලදී පෙරේදා (18දා) පස්වරු 2ට පමණ පීලි පැනීමට ලක්විය.
අතරමං වූ දුම්රිය මගී පිරිස සඳහන් කළ ආකාරයට සිද්ධිය මෙසේය.
දුම්රිය පීලි පැනීමෙන් පසු රොසැල්ල දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ පොඩි මැණිකේ දුම්රියෙන් විශේෂ දුම්රියෙන් පැමිණි හෙදියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.
පොඩි මැණිකේ දුම්රියෙන් පැමිණි හෙදියන් ඇතුළු සාමාජිකයන් හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තම ගමනාන්තය දක්වා යෑමට වෙනත් දුම්රියක් ලබාදෙන ලෙසයි.
එහිදී හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් කියා සිටියේ ඒ සඳහා තමන්ට කිසිදු උපදෙසක් ඉහළ බලධාරීන්ගෙන් ලැබී නොමැති බවයි.
එහිදී එම දුම්රියෙන් පැමිණි හෙදියන් සහ සාමාජිකයන් දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත. එම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ හැටන් දුම්රිය ස්ථානයේ පීලි පැනීම නිසා නතර කර තිබූ වෙනත් දුම්රියක් තම ගමනාන්තය දක්වා යෑමට ලබාදීමෙන් පසු එම පිරිසඊයේ පස්වරු 6 පමණ හැටන් දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළහ.
එම දුම්රියෙන් පැමිණි හෙදියන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තම දරුවන්ට නිවාඩු කාලය නිසා විනෝද ගමනක් යෑම සඳහා බණ්ඩාරවෙල දක්වා යෑමට දුම්රිය තෝරාගත් බවයි.
එම විනෝද ගමන කිසිදු පලක් නොවූ බව හෙදියෝ වැඩිදුරටත් කියා සිටියහ.
නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි


www.reporter.lk

No comments:

Powered by Blogger.