උසාවි බිමේදී මාධ්‍යවේදීන්ට තිදෙනෙක්‌ පහර දීලා



අධිකරණයට භාර වූ ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතා ඊයේ (28 දා) දහවල් නඩු කටයුතු තාවකාලිකව අත්හිටවූ අවස්‌ථාවේදී අධිකරණයෙන් පිටතට යන විට ඔහුගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළ ඩේලි මිරර් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියා ඇතුළු ඡායාරූප මාධ්‍යවේදීන් කිහිපදෙනකුට සිවිල් ඇඳුමින් සැරසුන නාවික හමුදා සෙබළුන් යෑයි කියන තිදෙනෙක්‌ පහර දුන්හ.

 මාධ්‍යවේදීන් කළ පැමිණිලි අනුව වහාම ක්‍රියාත්මක වූ කොම්පඤඤවීදියේ පොලිස්‌ නිලධාරියකු එලෙස ප්‍රහාර එල්ල කළ එක්‌ පුද්ගලයකුව අත්අඩංගුවට ගත් අතර සෙසු සිවිල් පුද්ගලයන් දෙදෙනා සැකකාර අද්මිරාල්වරයා ගමන් කළ වාහනය පිටුපස දුව ගොස්‌ පලාගොස්‌ තිබුණි.

 අත්අඩංගුවට ගත් සිවිල් ඇඳුමින් සැරසී සිටි පුද්ගලයා නාවික හමුදා සෙබළකු බව අනාවරණය වූ අතර ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර අද (29 දා) ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පැවසීය.

 තවත් සුළු කාලයකින් වසර 20 ක සේවා කාලය නිමකර නාවික හමුදාවෙන් විශ්‍රාම යැමට සිටින තමා අතින් සිදුවූ වරදට සමාව දෙන ලෙස මාධ්‍යවේදීන් හමුවේ එම සැකකරු ආයාචනය කරන අයුරු දක්‌නට ලැබුණි. මේ අතර ඊයේ (28 දා) පස්‌වරු 5.00 ට පමණ සැකකාර අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතාව බන්ධනාගාර රථයට ඇතුල් කර ගන්නා දර්ශන පටිගත කිරීමට හෝ ඡායාරූප කර ගැනීමට ඉඩ නොලැබෙන පරිදි කුඩ ඉහලා ගත් සිවිල් ඇඳුමින් සැරසුන නාවික හමුදා සෙබළුන් යෑයි සැකකළ හැකි පිරිසක් දක්‌නට ලැබුණි.

No comments:

Powered by Blogger.