ලක්‍ෂ 62ක ජන වරමට පිටුපානවා නම් මෛත්‍රියි - මමයි දෙන්නම ගෙදර යන්න ඕනෑ

"මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වීමටත්, මට අගමැති වීමටත් ජනාධිපතිවරණයේදී ජනතා වරමක් ලැබුණා. එතුමාට මගෙත් එක්ක වැඩ කරන්න බැරි නම් රාජිත සේනාරත්න මැතිතුමාට කියන්න තිබුණා. අපේ අයට කියන්න බැරිනම් තමන්ගෙ ඇමැතිවරු කැඳවල කියන්න තිබුණා" යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27දා කළුතරදී කීවේය.
කළුතර බස් නැවතුම්පළ භූමියේ පැවැති ජන හමුවක් අමතා රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත් මටත් දෙන්නටම ජනවරමක් දීලා තිබෙනවා. ඒක ප්‍රතික්ෂේප කරලා ගෙදර යනව නම් අපි දෙන්නම යා යුතුයි. මට විරුද්ධව පැවැති විශ්වාසභංගයේදී සන්ධානයේ මන්ත්‍රිවරුන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ වෙලාවේ කියන්න තිබුණා ඒ ගොල්ල සමඟ වැඩ කරන්න බැහැ කියලා. නමුත් එහෙම කිව්වෙ නැහැ. දැන් කියනවා මා එක්ක වැඩ කරන්න බැහැ කියලා.
පාර්ලිමේන්තුව තෝරන ඕන කෙනකු සමඟ ජනාධිපති වැඩ කළ යුතුයි.තමන් කැමැති අය තෝරා බේරාගෙන ඒ අය සමඟ විතරක් වැඩ කරන්න ජනාධිපතිට බැහැ. ජනාධිපතිට එහෙම බලය තිබුණු කාලෙ අවසානයි.
මෛත්‍රිපාල සිරිසේන කියන හැම දෙයක් ගැනම මට වාද කරන්න අවශ්‍ය නැහැ. එතුමා අවුරුදු තුන හමාරක් තිස්සෙ කිව්වෙ රාජපක්ෂලා ආවොත් ඉවරයි කියලයි.
රාජපක්ෂවරුන් හිරේ දාන්නෙ නැහැ කියලා මට චෝදනා කරලා මහින්ද රාජපක්ෂව ගෙනැල්ල අගමැතිකම දුන්නා. රට පාලනය කරන්නෙ ජනතාව තෝරාගත්ත පාර්ලිමේන්තුවද? නැත්තම් ඒකාධිපති බලයේ ඉන්න ජනාධිපතිතුමාද කියන එකයි. ජනාධිපතිද ජනතාවද රජා කියලා තේරුම් ගත යුතුයි. අපි ඒකාධිපතිත්වයට යටවෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවෙ බහුතරය අනුව ක්‍රියාකරන්න කියලා ජනාධිපතිතුමාට කියනවා. රටේ සදාචාරය ආචාරධර්ම අනුව පාලකයන් කටයුතු කළ යුතුයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනවාරි 08 වැනිදා ප්‍රතිඵලය පිළිගෙන මට කතා කරලා මට එන්න කියලා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කතා කරලා හිස නවල පිටවුණා. මොනතරම් වැරැදි කළත් ඒකාධිපතියකු ලෙස වැඩ කළත් එදා මහින්ද රාජපක්ෂට ජනතාවගේ ප්‍රසාදය හිමිවුණේ ජනතා මතයට හිස නැවූ නිසයි. අද ඒ තත්ත්වය නැති කරගෙන බලයට කෑදර වෙලා තාවකාලික ආණ්ඩුවක් ගැන කතා කරනවා. මෙතැන තියෙන්නෙ තාවකාලික ආණ්ඩුවක් වත් තක්කාලි ආණ්ඩුවක්වත් නෙවෙයි. මෙතැන තියෙන්නෙ මැර කණ්ඩායමක් නීති විරෝධීව බලයේ සිටීමයි.
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා හිට්ලර්ගේ වාර්තාව බිඳලා සිරිසේන රාජපක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බෝම්බ ගැසීමට කටයුතු කළා. ජනතාවගේ අවදිවීම සහ අපගේ සෘජු සිටගැනීම නිසා අද ඒ අයට පසු බැසීමට සිදුවෙලා තිබෙනවා.
ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිතුමා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා. නොවැම්බර් 14 විශ්වාසභංගයක් සම්මත වුණා. නොවැම්බර් 15 ඒක කථානායක පිළිගෙන අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයක් නැති බව ප්‍රකාශ කළා. ඒක වැරැදි නම් කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. නමුත් අද වනතුරු ඒක කළේ නැහැ. ඒ වෙනුවට කථානායකවරයාට තැන තැන ඉඳගෙන බනිනවා. කරු ජයසූරිය කථානායකවරයා නිර්භීතව කථානායක තනතුරේ ගරුත්වය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළා. කවුරු කථානායක වුණත් බහුතරයක් නැති තැන බහුතරයක් ප්‍රකාශ කරන්න බැහැ.
අගමැති පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට නැතුවා පමණක් නොව පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය 19 වැනි සංශෝධනයෙන් අපි අතට ගත්තා. ඒ අනුව පාර්ලිමේන්තු විසුරුවා හරින්න අවුරුදු හතර හමාරක් යා යුතුයි. ඊට පෙර විසුරුවා හරින්න පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍යයි. ජනාධිපතිගෙ තනි කැමැත්ත තියෙන්නෙ අන්තිම මාස 06 විතරයි.
පාර්ලිමේන්තු බලය තියෙනව නම් ආණ්ඩුවට බහුතර බලය තිබිය යුතුයි. අණපනත් සම්මත කරගන්න, මුදල් අනුමත කරගන්න පාර්ලිමේන්තුවෙ බහුතර බලය අවශ්‍යයි. මේ ආණ්ඩුවට බහුතරයක්, විශ්වාසයක් නැහැ. මේ නිසා කිසිම පනතක් සම්මත වෙන්නෙ නැහැ. ආණ්ඩුවෙ මුදල් නැතිව රට අනාථ වෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස
මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව එක හ¾ඩින් වරම ලබාදුන්නෙ වෙනසක් ඇති කිරීම සඳහායි. ඒ ජනවරම වසර පහක් තුළ ජනතා පැතුම් ඉටුකිරීම සඳහායි. ජනතා බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනතාව කාලය ලබාදුන්නා. නමුත් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා කිසිවකු අපේක්ෂා නොකළ පරිදි සාහසික අන්දමින් කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා නීතිය වෙනුවට අවනීතිය රජකරවල ඒකාධිපති බලය ඉස්මතු වුණා. හැට දෙලක්ෂයක ජනවරමට පයින් ගහලා මුල අමතක කළා. හැට දෙලක්ෂයක් වූ ජනතා වරම අතුගාලා දාන්න ඉඩ දිය නොහැකියි. යහපාලනයක් තුළින් මේ රටට අලුත් ආරම්භයක් ලැබෙයි කියා හැමදෙනාම හිතුවා. ජනවරමට පයින් ගහලා සිදුකළ රාජද්‍රෝහී, දේශද්‍රෝහී කුමන්ත්‍රණය අනිවාර්යයෙන්ම පරාජය කරනවා.
අපේ සැලසුම වෙලා තිබුණෙ මේ වසර සඳහා වෙන්කළ හැම තඹ සතයක්ම පොඩි මිනිහා වෙනුවෙන් වියදම් කරලා සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කරලා රටේ ජනතාව පෝෂණය කිරීමයි. නමුත් අද මේ මහා කුමන්ත්‍රණය සමඟ ලංකාව පුරා සියලු නිවාස ව්‍යාපෘති නතර කර දමා තිබෙනවා. ණය වැඩ සටහන් සියල්ල නතර කර දමා තිබෙනවා. ලබන වසරේදී උදාගම්මාන 2500 දක්වා යන ගමන සහමුලින්ම නතර කර දමා තිබෙනවා.

ඒ වගේම රටේ සංවර්ධන වැඩවලට විදේශවලින් ලැබුණු ආධාර නතර වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලබාදෙන අරමුදල් කපා දමා තිබෙනවා. ජපානය නව දුම්රිය මාර්ගය සඳහා වෙන්කළ ඩොලර් බිලියන එකයි දශම පහක මුදල අහෝසි කර දමා තිබෙනවා.
තවදුරටත් කල් නොදමා අපි මේක විස¼දාගත යුතුයි. අමාත්‍යාංශවල රුපියල් කෝටි 10කට වඩා මුදල් පුංචි මිනිසුන් වෙනුවෙන් වෙන්කර තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට පොඩි මිනිහට සහන දෙන්න බැහැ. මේ ගොල්ල බලයට ආවෙම තමන් රජවෙන්නයි. පවුලට තම පරපුරට රටේ අයිතිය ලබාදෙන්නයි. අපි ළඟ පවුල්වාදය, බලලෝභිත්වය නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න අපි සූදානම්. අපි අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන නතර කරන්නෙ අවුරුදු පහක් ආණ්ඩු කරලා ජනතාවට සේවය කරලයි.
රාජිත සේනාරත්න මහතා,
ඉදිරියේදී ආණ්ඩුවේ තවත් ප්‍රබලයෙක් අපේ පැත්තට පැමිණීමට සූදානමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ නායකතුමා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරඅවසන්. අනුමැතිය ලද වහාම ඔහු අපේ පැත්තට එනවා. එවිට බහුතර බලය 124යි. ඉදිරියේදි එම බහුතරය 130කට වඩා වැඩිකර සටන ඉදිරියටම ගෙන යනවා.
රාජපක්ෂ - සිරිසේන කුමන්ත්‍රණයට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 122ක බලය පෙන්වා තිබෙනවා. වසන්ත සේනානායක මහතා පැමිණීමත් සමඟ මන්ත්‍රිවරු 123ක් බවට පත්වුණා.
මහින්ද රාජපක්ෂලාට අභියෝග කරනවා පුළුවන් නම් මන්ත්‍රිවරු 85 දෙනකු පෙන්වන්න කියලා. සමහර මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට ඇවිත් මාරුවෙලා යනවා. මේ දේශපාලන කුමන්ත්‍රණයට කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා සෘජුවම විරුද්ධ ස්ථාවරයක ඉන්නවා. එස්.බී. දිසානායක මහතා රංගේ කියා මන්ත්‍රිවරු බිලී බාන්න ගිහිල්ලා ලෝකයටම අප්‍රසාදයට පත්වුණා. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවෙලා සන්ධාන හදන්නෙ නැහැ කියලයි. ඉදිරි මැතිවරණවලට පොදුජන පෙරමුණ තනිව තරග කරන බව එතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා සිරිසේන මහත්තයට වෙන්නෙ මොකක්ද කියලා එයාටවත් හිතාගන්න බැරිවෙනවා.
මෛත්‍රිපාල සිරිසේන මහත්තය හතුරාට මිතුරා පාවාදුන් රාජ්‍ය නායකයෙක්. මේ සටන අපි ඉදිරියටම ගෙන යනවා. අවසානයේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ නිවාසය හා නිල කාර්යාල ජනතාව සමඟ එකතුවෙලා වටලනවා. මේ සටන තවත් වැඩිකල් නොගොස් අවසාන කරනවා. හොර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයගෙ මූණ මැලවිලා ගිහිල්ලා ඉවරයි. පොදුජන පෙරමුණේ සාමාජිකයන් මහින්ද රාජපක්ෂ මහතාට බනිනවා. මේ අපරාධය කරගත්තෙ ඇයි කියලා අහනවා. කොහොම වුණත් ඒකෙන් එක්සත් ජාතික පක්ෂය ඕනම මැතිවරණයකට මුහුණ දිය හැකි ආකාරයට සන්ධාන ගතවුණා.
අපි මේ සටන අවසන් කරන්නෙ රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කරලයි. පුළුවන් නම් ඒක නතර කරන්න කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ නැවත අගමැති වුණොත් ජනාධිපති තනතුරේ විනාඩි 05ක්වත් ඉන්නෙ නැහැ කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඒක බොහෝම හොඳයි. අපි මේක වීදි සටන් හරහා මහජන අරගලයක් බවට පත්කරනවා.

www.reporter.lk

No comments:

Powered by Blogger.