චීනයෙන් ගත් ණය මුදලේ වාරික ගෙවීමට ඩොලර් මිලියන 500ක් මහින්දලා යළි චීනයෙන් ඉල්ලලා - හඳුන්නෙත්ති කියයි



චීනයෙන් ගත් ණය මුදල්වල වාරික ගෙවීමට චීනයෙන්ම නැවත ඩොලර් මිලියන 500ක් ගැනීමට අටවා ගත් වත්මන් ආණ්ඩුව විසින් ඉල්ලුම් කර ඇති බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කියයි.
ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු නොයන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇති බවත් එය සිදු වූයේ මෙම සෙල්ලම් ආණ්ඩු හැදීමේ ක්‍රියාවලියෙන් බවත් ඒ මහතා චෝදනා කළේය.
ඔහු පැවැසුවේ මෙසේ බලහත්කාරයෙන් ආණ්ඩුවක් සාදා ගත්තේ රාජ්‍ය බලය යොදා මැතිවරණයකට යෑමේ එකම අරමුණින් බවය.
කෙසේ නමුත් එජාපයේ හා මහින්ද පාර්ශ්වයේ ආර්ථික වැඩපිළිවෙළ තුළ කිසිදු වෙනසක් නොමැති බවද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (28දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
හඳුන්නෙත්ති මහතා මේ බවද කීය.
අපේ රටේ ආණ්ඩුවක් නැතිව කැබිනට් මණ්ඩලයක් නැතිව මාසයක් ගත වුණා. ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායම පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. විපක්ෂයේ කණ්ඩායම විසින් රටේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. ආර්ථිකය ජන ජීවිතය කඩා වැටිලා. සංචාරක කර්මාන්තය බරපතළ වශයෙන් කඩාවැටිලා. විවිධාකාරයෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත් ජනතාවගේ සියලු ආදායම් මාර්ග කඩා වැටිලා.
මීට පෙර ආර්ථිකය ගැන, රුපියල කඩා වැටීම ගැන, බඩු මිල ඉහළ යෑම ගැන විවිධ මත ඉදිරිපත් කරපු රාජපක්ෂ කණ්ඩායමේ බන්දුල ගුණවර්ධන අද ආර්ථිකය ගැන මොකද කියන්නේ.
මීට කලින් රුපියල කඩාවැටීම ගැන නිවුස් ඇලර්ට් එවපු මාධ්‍ය පවා අද ගොළු වෙලා. මොකද, අපේ රටේ බොහෝ මාධ්‍ය මේ සෙල්ලම් ආණ්ඩුව හදන්න සහාය දුන්නා. ප්‍රතිපත්ති නැති දේශපාලනඥයන් පස්සේ ගිහින් ඇතැම් මාධ්‍ය අද අසරණ වෙලා. අපේ රටේ යහපත් දේශපාලනය වෙනුවෙන් සත්‍ය, සත්‍ය ලෙස දැකිය යුතුයි.
අද කොටස් වෙළෙඳපොළ බරපතළ ලෙස කඩා වැටිලා. නොවැම්බර් මාසයේ පමණක් විදේශීය ආයෝජන රුපියල් බිලියන 4.5ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන. ස්වෛරී බැඳුම්කර රුපියල් මිලියන 1804ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන. 2019 ජනවාරි 15 වන විට අපේ රට විසින් ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවිය යුතුයි. 2017 දෙසැම්බර් මාසය වන විට අපේ රට රුපියල් කෝටි දස ලක්ෂ තිස් නවදාහක් ණයයි. ඉන් කෝටි හයලක්ෂ විසි අට දාහක් ණය ලබාගෙන තිබෙන්නේ රාජපක්ෂ පාලන කාලයේ. ලබන වර්ෂය සඳහා අය - වැයක් නැහැ. ආණ්ඩුවක් නැතිව අය - වැයක් සම්මත කරගන්න බැහැ. ලබන ජනවාරි මස ණය ගෙවීම අර්බුදයකට ලක්වෙලා තිබෙනවා.
මේ වෙනකොට අටවා ගත්ත කැබිනට් එක විවිධ ගනුදෙනු කරමින් තිබෙනවා. කොළඹ ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු චීන සමාගම් දෙකකට ලබාදෙන්න සෙල්ලම් කැබිනට් එක තීන්දු තීරණ අරගෙන. චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න තීරණය කොට තිබෙනවා. චීනෙන් ගත්ත ණය ගෙවන්න චීනයෙන්ම ණය ගන්න තත්ත්වයකට පත්වෙලා. මේ විදියට සෙල්ලම් ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ.
රනිල් වික්‍රමසිංහලාවත් මෛත්‍රිපාල සිරිසේනවත් මහින්ද රාජපක්ෂලාවත් ජනතාවගේ අර්බුදයට විසඳුම් දෙන්නේ නැහැ.
2019, 2020 වසරවලදී තමයි අපේ රට ගත්ත ණයවල වැඩිම ණය පොලී වාරිකය ගෙවන්න තිබෙන්නේ. ඒ වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට ණය ගිවිසුම් සමාලෝචනය කරනවා වෙනුවට ආර්ථික වැඩපිළිවෙළ සකස් කරගන්නවා වෙනුවට මෛත්‍රිපාල සිරිසේන විසින් වර්ෂ අවසානයේදී රටේ මුළු ශේෂ පත්‍රයම අවුල් කරලා දැම්මා. දෙසැම්බර් 31න් පස්සේ වියදම් කරන්න කිසිදු මුදල් ප්‍රතිපාදනයක් නැහැ. රට ඉතාම අස්ථාවර තත්ත්වයකයි තිබෙන්නේ.
මේ වෙනකොට මහින්ද රාජපක්ෂගේ පරණ හොරු රැළ නැවත තනතුරුවලට පත්වෙමින් තිබෙනවා. තමන්ගේ පරණ පුරුදු රස්සාවල නිරත වෙමින් තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා පිළිතුරක් ලබාදිය යුතුයි. මෛත්‍රිපාල සිරිසේනලා මහින්ද රාජපක්ෂලා ඇතුළු දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා අද රෙදි ගලවගෙන ඉවරයි. මහින්ද රාජපක්ෂට යම් ගෞරවයක් තිබුණා නම් දැන් ඒකත් ඉවරයි. මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන අනාගතය අවසන් වෙලා ඉවරයි. අපි ජනාධිපතිවරයාට කියනවා අස්ථාවර කොට තිබෙන රට ස්ථාවර කිරීමේ වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි කියලා.
ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ
බන්දුල ගුණවර්ධනලා දැන් කරන ප්‍රකාශ අනුව අපිට හිතෙන්නේ ඔවුන් නැවතත් ජනතාවට රුපියල් 2,500කින් කන්න දෙන්න හදනවාද කියලා? විළි ලැජ්ජා නැති දේශපාලනයක් නිසා අද අටම අරාජික වෙලා.
එදා ආණ්ඩුවට චෝදනා එල්ල කරපු බන්දුල ගුණවර්ධනලා අද ආර්ථික අර්බුදය තමන්ට වාසි විදියට විග්‍රහ කරන්න පටන් අරගෙන.
මේ අර්බුදය යටගහන්න. ජනාධිපතිවරයා අලුත් තුරුම්පුවක් ගහන්න හදනවා. එජාප ආණ්ඩුවේ වංචා - දූෂණ හොයන්න ජනාධිපති කොමිසමක් දාන්න හදනවා. එහෙම කොමිසමක් දාන එක හොඳයි. ඒ වගේම පසුගිය කාලේ බරපතළ දූෂණ හොයන්න ඉදිරිපත් කරපු කොමිසම් වාර්තාවට, මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාවට මොකද වුණේ කියලා ජනාධිපතිවරයා රටට පැහැදිලි කරන්න ඕනෑ. අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා. එළියට නොදා ඉන්න බැඳුම්කර කොමිසමේ වාර්තාව එළියට දාන්න කියලා. ඒක එළියට දාන්නේ නැත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අයත් ඒ ගනුදෙනුවේ ඉන්නවා. එජාපයේ නගරාධිපතිවරුන්ගේ දරුවන්ගේ නමත් ඒ වාර්තාවල තිබෙනවා. දැන් නම් කපලා වාර්තාව එළියට දාන්න හදනවා. ගනුදෙනුව සිදු වූ මොහොතේ පමණක් රුපියල් බිලියන 15ක අලාභයක් සිදු වූ එම බැඳුම්කර ගනුදෙනුවේ සම්පූර්ණ අලාභය හොයන්න දෙවැනි කොමිසම දාන්න කියලා අපි ජනාධිපතිවරයාට කිව්වා. නමුත් ඒ කොමිසම තවත් පත්කරලා නැහැ. සෙල්ලම් ආණ්ඩු හදලා රට අර්බුදයට ගියාට පස්සේ දැන් ජනාධිපතිවරයා වෙන වෙන සෙල්ලම් දානවා. අලුත් හොරු අල්ලන්න පරණ හොරු ළංකරගෙන හරියන්නේ නැහැ. අද මුළු රටම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල බුක්ති විඳිමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ සම්පත් විකුණගෙන කෑවා. සෙල්ලම් ආණ්ඩුව හදාගත්ත අලුත් කණ්ඩායම ඉතිරි ටික විකුණන්නේ කොහොමද කියලා පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙසේද පැවැසීය.
සිංගප්පූරු ගිවිසුම අත්හිටුවා වෙනස් කළ යුතු බව කියනවා. ඇත්තටම මොකක්ද සිදුවෙන්නේ?
සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවේ කතා කළේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ කිව්වා. නමුත් ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් කළා. දිනේෂ්ලා, බන්දුලලා, මහින්දානන්දලා ඒ ගැන විවාද කළා. ඒ වෙලාවේ ඔවුන් කිව්වේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා තමයි සිංගප්පූරු ගිවිසුමට වැඩියෙන්ම විරුද්ධ වුණේ කියලා. ජවිපෙ ලෙස අපිත් ඊට එරෙහිව ජනතාව දැනුවත් කළා. වෘත්තිකයන් සමඟ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත්තා. තමන් බලයට ඇවිත් පැය 24න් ගිවිසුම් අහෝසි කරනවා කියපු ඒකාබද්ධ විපක්ෂය අද මොකක්ද කියන්නේ. එදා ඊට එරෙහිව සටන් කරපු වෘත්තිකයෝ, සංවිධාන, වෛද්‍ය සංගම් අද තිත්ත බෙහෙත් බීපු ගොළුවෝ වගේ ඉන්නවා.
එදා මලික් සමරවික්‍රමලා අස්සන් කරපු ගිවිසුම අද ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නේ බන්දුල ගුණවර්ධනලායි.
කථානායකවරයාට විරෝධය පළ කිරීමට කියා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන්නෙ?
කථානායකතුමා වැරැදි නම් ඔහුට එරෙහිව විශ්වාසංගයක් ගේන්න පුළුවන්. නමුත් අද ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායම තාත්තා එක්ක තරහා වෙලා ගෙදර එන්නේ නැති ළමයි වගේ.
මැතිවරණයකට යා හැකියි නේද මේ තත්ත්වය තුළ?
පසුගිය මාසෙටම මහින්ද රාජපක්ෂ රටට කරපු දෙයක් තියෙනවාද? ඔහු කරපු එකම දේ රේගුවෙන් ඩොලර් මුදලක් නිදහස් කරන්න ලියුමකට අස්සන් කරපු එකයි. ඒකද රටේ වැදගත්ම ප්‍රශ්නය වුණේ? මේ විදියට මුදල් ඇමැති කෙනෙක් පීචං වෙනවාද? මේ වගේ ආණ්ඩු ජනතාවට මොකටද? රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් අවභාවිත කරලා මැතිවරණයක් කරනවාට අපේ රටේ ජනතාව එකඟද?
වෙඩි නොවදින වාහන ගෙන්වා වරායේ තිබෙන බව ඔබ සඳහන් කළා?
මං දන්නෙ නෑ වෙඩි වදිනවාද නොවදිනවාද කියලා. හැබැයි වෙඩි නොවැදුණත් ඒවාට ගල් ගහන එක නම් නවත්තන්න බෑ. මේ ගැන ඔබලා මාධ්‍ය විදියට සොයා බැලිය යුතුයි.
අනුරාධා හේරත්
www.reporter.lk

No comments:

Powered by Blogger.