ඒකාබද්ධයේ විරෝධතාවයට පොලිස් බලඇණි කැඳවයි - කොළඹ ආරක්ෂාව තර කරයි (PHOTOS)
හෙට(05) දිනයේදී ඒකාබද්ධ විපක්ෂය පවත්වන “ජනබලය කොළඹට“ විරෝධතා රැළිය හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් මූලස්ථානය පළාත් කිහිපයකින් පොලිස් ස්ථාන රැසකින් අමතර පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා තිබේ.
එලෙස කැඳවා තිබූ පොලිස් නිලධාරීන් කුරුඳුවත්ත පොලීසිය අසලට කැඳවා ඇති අයුරු අද(04) පස්වරුව වනවිට දක්නට ලැබුණි.
ඒ අනුව කොළඹ ස්ථාන රැසක පොලිස් බලඇණි ස්ථාන ගත කිරීමට සැලසුම් කර ඇත.
ජනාධිපති නිල නිවස, අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රධාන මර්මස්ථාන රැසක ආරක්ෂාව තර කිරීමටද මේ වන විට කටයුතු කර ඇත.
මේ අතර අද දිනයේ දී කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථාන තුන මඟින් ඉදිරිපත් කළ ඉල්ලීම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
විශේෂයෙන් ආරක්ෂාව සැපයිය යුතු තැන්වලට හානි සිදු වෙතැයි යන සැකය මත අධිකරණයෙන් ඉල්ලීම් කළ බවත් ඒ ඇරෙන්නට කිසිදු හේතුවක් මත උද්ඝෝෂණයට හානි කරන්නේ නැති බව ද පොලීසිය පවසයි.
මහජනයාට හෝ රාජ්‍ය දේපල හෝ උසාවියන්ට විශේෂයෙන්ම නඩු භාණ්ඩයන්ට යම් හානියක් සිදු වුවහොත් එහිදී පොලිස් බලය පාවිච්චි කිරීමට සිදුවන බව ද පොලීසිය සඳහන් කරයි.
No comments: