නිදහස් කරන්නැයි ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ රැඳවියෝ ආහාර වර්ජනයක

නිදහස් කරන්නැයි ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ රැඳවියෝ ආහාර වර්ජනයක

අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතරතුර ආහාර වර්ජනයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අට දෙනාගෙන් එක් අයෙකු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යැවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු යොදා තිබේ.

සිවසුබ්‍රමනියම් තිල්ලෙයිරාජා නැමති මෙම එල්.ටී.ටී.ඊ.සැකකරු දැනට අවුරුදු  අටක පමණ කාලයක් අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින අතර ඔහු දරුණු ලෙස දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින නිසා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කොට යවා තිබේ.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේදී ආහාර වර්ජනයක නිරතව සිටින  එල්.ටී.ටී,ඊ. සාමාජිකයින් හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් හා උතුරු පළාත් සභාවේ කේ .ශාන්තන් මන්ත්‍රීවරයා අනුරාධපුර බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රජයෙන් මේ පිරිස නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු පියවරෙන් පියවර සිදු කරමින් සිටින නිසා වසර ගණනාවක්ම ඉවසාගෙන සිටි අන්දමට තවත් සුළු කාලයක් ඉවසා සිටින ලෙසයි.නමුත් ආහාර වර්ජනය අත් හැරීමට ඔවුන් එකග වී නොමැත.

මේ පිළිබදව අනුරාධපුර බන්ධනාගාරයෙන් විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය ආරම්භ කෙරෙන විටම අනුරාධපුර බන්ධනාගාරයේ සිටින මේ සිරකරුවන් පිරිස ආහාර වර්ජනයක නිරත වන බවයි.

පසුගිය වසරේදී මාසයකට වඩා වැඩි කාලයක් ඔවුන් ආහාර වර්ජනයේ නිරත වුවත් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට කිසිදු බලපෑමක් සිදු නොවීමද විශාල ප්‍රශ්නයක් බව එම නිලධාරියා පැවසීය.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.