"මේ මැරිලා ඉන්නේ අහිංසක මිනිස්සු - ඇටසැකිලි දිහා බැලුවම ඒක පේනවා" - විජයකලා සමූහ මිනි වළවල් ගැන කියයි

උතුරු ප්‍රදේශයෙන් හමුවන සමූහ මිනී වළවල් තුළින් මතු වන්නේ යුද සමයේදී උතුරෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඇටසැකිළි නිසා අතුරුදන්වූවන් පිළිබදව සොයා බැලීමෙන් ඇති පලක් නැතැයි විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය 16 දා යාපනයේදී පැවසීය.

මන්ත්‍රීවරිය එසේ පැවසුවේ යාපනය නගරාසන්නයේ පැවති උත්සවයකදී ජනතාව අමතමිනි.

මන්ත්‍රීවරිය තවදුරටත් කියා සිටියේ මෙතෙක් කලක් උතුරේ සමූහ මිනී වළවල් වලින් හමු වූ මිනිස් ඇටසැකිළි සංඛ්‍යාව දෙස බලන විට යුද සමයේදී අතුරුදහන් වූ සියළුම දෙනා සැතපී සිටින්නේ මේ සමූහ මිනීවළවල් තුළ බවට විශ්වාස කළ හැකි බවයි.

යුද සමයේදී අතුරුදහන් වූවන් සොයා දෙන මෙන් රජයට බල කරමින් කොතරම් විරෝධතා දැක්වූවද ප්‍රයෝජනයක් නොමැති බව පැවසූ විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ඔවුන් සෙවීමටනම් ළිං පතුල් හාරා විපරම් කළ යුතු බවද පැවසීය.

මේ නිසා රජය යුද සමයේදී අතුරුදහන්  වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ඨ කළ යුතු බවද මන්ත්‍රීවරිය මෙහිදී කියා සිටියාය.

මන්නාරමේ සමූහ මිනීවළවල් වලින් හමුවන මිනිස් ඇටසැකිළි වල ස්වරූපය  දෙස බලන විට ඔවුන් කිසි විටකත් යුද්ධ කළ පිරිසක් නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්න්ට ඇති බවද ඒ සියළුම දෙනා අහිංසක සාමාන්‍ය වැසියන් බවට ඔප්පු වෙමින් පවතින බවද විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ජනතාව මෙවැනි ප්‍රශ්න වලදී රජයෙන් විසදුම් ඉල්ලා සිටියත් රජය එම ප්‍රශ්න වලට විසදුම් ලබා නොදෙන බව තමන්ට වූ අසාධාරණය දෙස බලන විත ඉතා පැහැදිලිව පෙනී යන බවද ඇය මෙහිදී කියා සිටියාය.

තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන ලෙස රජය කරවන උදවිය ඉල්ලා සිටියේ අමාත්‍යධුරයේ  රැදී සිටියදී එය පරීක්ෂණ කටයුතු වලට බාධාවක් නිසා යැයි කී බැවින් තමන් එදා ගෞරවාන්විතව ඉල්ලා අස්වූ බව විජයකලා මන්ත්‍රීවරිය සදහන් කළාය.

වසර ගණනාවක්ම රජයේ උන්නතිය වෙණුවෙන් කටයුතු කළ තමන්ට ඒ අයම නඩු පවරන්නට කටයුතු කරන්නේ නම් සාමාන්‍ය ජනතාවට රජයෙන් ලැබෙන සහනයන් ගැන ඔබ සියළු දෙනා සිතා බැලිය යුතුව ඇතැයිද මන්ත්‍රීවරිය පැවසුවාය.

(දිනසේන රතුගමගේ)

No comments:

Powered by Blogger.