පෙම්වතියට වකුගඩුවක් දන්දී ආදරණීය බිරිඳ කරගත් කිරිබත්ගොඩ තරුණයා


රත්නපුර කහවත්තේ පදිංචි සෙව්වන්දි රාජපක්ෂට පසුගිය 12 වනදින ජීවිතයේ අතිශයින්ම වැදගත් වූත් තීරණාත්මක වූත් දිනයක් වූවාය. ඒ ඇය විසල්ගේ පතිනිය වූ බැවිනි.
තරුණියක් පතිකුලයට පියනැගීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් සෙව්වන්දි පතිකුලයට පැමිණීම සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය සිද්ධියකි. සෙව්වන්දිව මරණයෙන් ගලවා ගත් ගැලවුම්කාරයාගේම පතිනිය වීමට ඇය භාග්‍යවන්ත වීම එම අසාමාන්‍ය තත්ත්වය වන්නේය.
සෙව්වන්දිට වයස අවුරුදු 11 ලැබුවා පමණි. උණ රෝගයෙන් නිතර නිතර පෙළීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයගේ දණ හිස් ඉදිමෙන්නට පටන් ගත්තාය. සෙව්වන්දිට වයස අවුරුදු 16 – 17 පමණ වන තෙක්ම දණහිස් ඉදිමුමට ප්‍රතිකාර කළේ ආතරයිටිස් රෝගයට යයි කියාය. මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගනිමින්ම ඇය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එයින් සමත් වූවාය. උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ආරම්භ කළ ඇයට යාමට සිදුවූයේ ඉතාමත් කෙටි දුරකි. යළිත් ඇය රෝගී වූවාය. රත්නපුර රෝහලට සෙව්වන්දි ඒ වන විට ඇතුළත් කළේ ඇඟ පුරාම ඇති වූ තුවාල හේතුවෙනි. එහි දී ඇයට ප්‍රතිකාර කළ සමේ රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා සෙව්වන්දිට කුඩා කල සිට දුක් දුන් රෝග නිදානයට හේතුව සොයා ගැනීමට සමත් විය. වෛද්‍යවරයා ඇයගේ ‍ලේ, මූත්‍රා පරික්ෂා කළ අතර එම වාර්තාවන්ට අනුව ඇයගේ වකුගඩුවල දරුණු ආබාධයක් පවතින බව දැන ගත්තේය. ඒ අනුව සෙව්වන්දිට වෛද්‍ය උපදෙස් මත වසර 2012දී ඒමට සිදු වූයේ මාළිගාවත්ත වකුගඩු රෝහල වෙතය.
ඇයව පරික්ෂා කළ වෛද්‍යවරු වකුගඩුවල පවතින ආබාධ තත්ත්වය හඳුනාගෙන ඇයට ප්‍රතිකාර කළේය. අවසාන වශයෙන් වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ ඇයගේ වකුගඩු දෙකම අක්‍රි්‍රය වෙමින් පවතින බවය. මේ අනුව ඇයගේ වකුගඩු දෙකම ඉවත් කර වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරුන් තීරණය කළේය. එම තීරණය ක්‍රියාවට නැංවෙන තාක්කල් ඇය මාළිගාවත්ත වකුගඩු රෝහල තුළ ප්‍රතිකාර ලැබුවාය.
ඇය රෝහ‍ලේ ප්‍රතිකාර ලබන අතර කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට පරික්ෂණයක් සඳහා පැමිණි තවත් තරුණියකි. පරික්ෂණ අවසන් වන තෙක් එම තරුණියටද නේවාසිකව ටික කාලයක් රෝහ‍ලේ සිටීමට සිදුවිය. සෙව්වන්දිට එම තරුණිය සමග කුළුපග වීමට ගත වූයේ සුළු කාලයකි. ඔවුනොවුන් විටෙක සහෝදරියන් ලෙසත් විටෙක යෙහෙළියන් ලෙසත් ළෙන්ගතු විය.
කිරිබත්ගොඩ අක්කාගේ ඥාති සහෝදරයෙක් නිතර නිතර රෝහල වෙත පැමිණියේ අක්කාව බැලීමටය. ඔහු නමින් විසල් චාරකය. අක්කාගේ දුක සැප බැලීමට පැමිණි විසල්, සෙව්වන්දිගේ දුක සැප බැලීමටද හුරු විය. ඔහු සෙව්වන්දි ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ අතර කල් ගත වෙත්ම එම සැලකිල්ල නොබිඳෙන ආදරයක් බවට පත් වූයේ ඔවුනොවුන් නොදැනීමය.
කාලය ගත විය. සෙව්වන්දිට වකුගඩුව බද්ධ කිරීමේ දිනය ක්‍රමයෙන් ළඟාවිය. ඇයට ඕ ‍පොසිටිව් වකුගඩුවක් සෙවීම ආරම්භ කළේ ඔය අතරතුරය.
සෙව්වන්දිගේ සහෝදරියන් දෙදෙනාගේ වකුගඩු ගැළපෙන්නේදැයි මුලින්ම බැලුවේය. එහෙත් එය නොගැළපෙන්නේය. තවත් ළඟම ඥාතිවරයින් කීප දෙනකුගේම වකුගඩු සොයා බැලුවේය. ඒත් එයද නොගැළපෙන්නේය.
අවසානයේ විසල්ගේ වකුගඩුව ඕ ‍පොසිටිව් වර්ගයේ එකක් වූයෙන් ඔහු සෙව්වන්දිට වකුගඩුවක් දීමට කැමති විය. විසල් ඔහු කිරීමට බලා‍පොරොත්තු වන පරිත්‍යාගය ගැන සිය මවට කීවේය. විසල්ගේ මව හා පියා ආගමට දහමට බෙහෙවින්ම නැඹුරු වූ දෙපළකි. පුතාගේ පරිත්‍යාගය ගැන මවගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට පෙර ඇය ඒ බව පන්ස‍ලේ ලොකු හාමුදුරුවන්ට දැනුම් දුන්නාය. විසල්ගේ මවගේ කතාව ඇසු ලොකු හාමුදුරුවෝ එම පරිත්‍යාගය ගැන බොහෝ සතුටට පත්ව එය හතර වර්ගයාම නිවන් දැකීමට හේතුවන කුසලයක් යැයි සඳහන් කළහ.
ඒ අනුව විසල්ගේ මව සහ පියා සිය පුතුගේ පරිත්‍යාගය ගැන කැමැත්ත පළ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සෙව්වන්දිට විසල්ගේ වකුගඩුව පරිත්‍යාග කර ඇයගේ ජීවිතය මරණයෙන් ගලවා ගැනීමට ඔහුට හැකිවිය.
සෙව්වන්දි තමන් ලද ජීවිතය පිළිබඳ අප සමග පැවසුවේ, මෙවන් අදහසකි.
විසල් මගේ ජීවිතයට හමුවුණ දෙවි කෙනෙක් වගේ. මම වකුගඩු රෝහලට ආපු දවසේ මගේ ජීවිතය ගැන දැනුණේ ලොකුම බයක්. ඒත් විසල් දැන හඳුනාගත්තාම මට මගේ ජිවිතය ගැන අලුත් බලා‍පොරොත්තුවක් ඇති වුණා. මට නොදැනීම විසල් ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. මම හිතන්නේ එයාටත් එහෙම වෙන්න ඇති. එයා මට පුදුම විදිහට ආදරය කරනවා. මම වකුගඩුවේ රුධිරය පිරිසිදු කරන්න ඇතුළට ගොස් එළියට එනකල්ම දොර ළඟට වෙලා බලාගෙන ඉන්නවා. අඩුම තරමින් වාඩි වෙන්නෙවත් නැහැ. වීදුරුවෙන් සැරෙන් සැරේට එබි එබි බලනවා. මට විසල් ගැන හරිම පුදුමයි. මම වගේ ලෙඩෙක් සුවකරගෙන මාව විවාහ කර ගන්න තරම් අවංක වුණා. මට හිතෙන්නේ විසල්ගෙයි මගෙයි මේ බැඳීම ආත්ම ගණනක වෙ‍ලේ ඉඳලා එන එකක් වෙන්න ඇති. හරිම කරුණාවන්ත කෙනෙක්. මටත් ඕනේ ජීවිත කාලය පුරාම මාව ආදරයෙන් රැක බලාගන්නා කෙනෙක්. මොකද මම රෝගියෙක්. ජීවිත කාලයටම බෙහෙත්වලින් ජීවත් වෙන්නයි මට සිදුවෙලා තියෙන්නේ. කොහොම නමුත් විසල් මගේ ජීවිතය ආලෝක කළ පුරහඳක්
සෙව්වන්දි හා විසල් විවාහ දිවියට පසුගිය 11 වැනිදා පියනැගුවේ දෙමාපිය නෑ හිතමිතුරන්ගේ ආශිර්වාදය මධ්‍යයේය.
ශ්‍රියානි විජේසිංහ

No comments:

Powered by Blogger.