“ජාතිභේද එපා“ - ප්‍රශ්නවලට උත්තර දෙන හැටි ඇමැති තිගාම්බරම් කියයි
ජාතිභේදයකින් තොරව එක්ව සිටීමෙන් පැනනගින ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු ලබාදිය හැකි බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම්බ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ දැරණියගල නූරි වතුයායේ පෙරේදා (14) සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදීය.
එහිදී නූරී වතුයායේ වතු අධිකාරිවරයා අතකොටගේ පාර්ශවය සමඟ එක්ව වතුකම්කරුවන් දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට ලක්කරමින් සිටින බවට එම ජනතාව අමාත්‍යාංශයට පැමිණ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා දැනුවත් කර තිබේ.
එමෙන්ම පසුගිය 06 වැනි දින වතු ජනතාව සහ ප්‍රදේශයේ සිංහල ජනතාව අතර ජාතිවාදී ගැටුමක් ඇතිවීමට ගොස් තිබෙන්නේ වතු අධිකාරීවරයාගේ ක්‍රියාකලාපය නිසා බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ඇතිවීමට ගිය එම ගැටුම්කාරී තත්වය දැරණියගල බස්නාගල සුගතබිම්භරාමයේ විහාරාධිපති පූජ්‍ය ගලපාත සුමතිපාල හිමි සහ ශ්‍රී මුත්තුඅම්මාර් කෝවිලේ කුරුක්කල් තුමා මැදිහත්ව වලක්වා තිබේ.
2013 වසරේදී අතකොටා ඇතුළු පිරිස නූරි වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියද ඔහුගේ ආධාරකරුවන් වතු අධිකාරිවරයා සමඟ එක්ව ප්‍රදේශයේ ජනතාවට වධ හිංසා කරමින් සිටින බවට වතු ප්‍රජාව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා වෙත පෙන්වා දී ඇත.
ඒ අනුව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් වන අධිකරණ නියෝජ්‍ය අමත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ දැරණියගල සංවිධායක පළාත් සභා මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතාද සමඟ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක එක්විය.
පළමුව බස්නාගල සුගතබිම්භරාමය වෙත ගිය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම විහාරාධිපති පූජ්‍ය ගලපාත සුමතිපාල හිමි සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී මුත්තුඅම්මාර් කෝවිල වෙත ගොස් කුරුක්කල් තුමා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ස්ථානයේදී ජනහමුවක් පවත්වා තිබේ.
එහිදී අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ 2013 වසරේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් යළි නූරි වත්ත ප්‍රදේශයේ ඇතිවීමට තමන් ඉඩ නොතබන බවයි.
එමෙන්ම නූරි වතුයායේ ජනතාවගේ ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කිරීමට පියවර ගන්නා බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මේ වසරේදී නිවාස 50 ක් ඉදිකිරීමට පියවර ගන්නා බවයි.
No comments: