පහරදීමෙන් දුම්රියට ලක්‌ෂ 10 ක පාඩුවක්; විශ්‍රාමික රියෑදුරන් ගෙන් ප්‍රතිචාරයක් නෑ
Loading...
කාර්යාල සේවකයන් මෙන්ම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද තමන්ට ගමන් කිරීමට දුම්රියක් නොමැතිව දුම්රිය ස්‌ථාන ඉදිරිපිටට වී බලා සිටි අයුරු දක්‌නට ලැබිණි.
දුම්රිය වර්ජනය නිසා වෙනදාට වඩා වැඩි පිරිසක් බස් රථවලින් ගමන් කරනු දක්‌නට ලැබිණි. මේ නිසා බස් රථ මගීන්ගෙන් පිරී පැවැති අතර බොහෝ පිරිසකට කලට වේලාවට සිය කාර්යාල වෙත වාර්තා කිරීමටද නොහැකි වී තිබිණි.
පෙර දැනුම් දීමකින් තොරව පෙරේදා (8 දා) සවස හදිසියේ දුම්රිය වැඩ වර්ජනය දියත් කළ නිසා අසරණ වූ මගීන් කිහිපදෙනෙක් කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ නවතා ඇති දුම්රියකට වී රැය පහන් වනතුරු නිදා සිටි අතර ඉන් එක් මගියකුට දුම්රිය නිලධාරියකු විසින් පහර දුන් බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර ඇත.
තමන්ට නිවෙස් බලා යැමට දුම්රිය නොමැති නිසා කුපිත වූ මගීහු පෙරේදා සවස කළහකාරී ලෙස හැසිරෙමින් දුම්රිය ස්‌ථානයට කළ පහරදීම් නිසා රුපියල් ලක්‍ෂ දහයක පමණ දේපළ හානියක් සිදුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙක් 'දිවයින' ට ප්‍රකාශ කළේය.
දුම්රිය මගීන් වෙනුවෙන් ඊයේ දිනයේදී හමුදා බස් රථ කිහිපයක් යොදා තිබිණි. දුම්රිය රියෑදුරන් ද වර්ජනයට එක්‌ව සිටින නිසා විශ්‍රාමික රියෑදුරන්ට සේවයට පැමිණෙන ලෙසට ප්‍රවාහන අමාත්‍යාංශය පෙරේදා (08 දා) සවස ආරාධනා කළත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නැති බවද ඉහත නිලධාරියා පැවසුවේය.
කෙසේ වෙතත් දුම්රිය රියෑදුරු පරීක්‍ෂකවරුන් යොදවා ඊයේ සවස මගී දුම්රිය අටක් සහ ගුවන් තොටුපළට ඉන්ධන සැපයීමට ගැල් දුම්රියක් ධාවනය කරවීමට කටයුතු කළ බවද හෙතෙම කීවේය.
මේ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ප්‍රකාශ කළේ දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ඉල්ලීම් කිසිසේත් ඇමැති මණ්‌ඩලය විසින් ප්‍රතික්‍ෂේප කර නැති බවය. එකී ඉල්ලීම් ලබාදීම සඳහා ඇමැති මණ්‌ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ක්‍රියා කරන බවද ඊට යම් කාලයක්a ගත වන බවද ප්‍රකාශ කරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ දිනවල පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳ සලකා බලා වැඩ වර්ජනය නතර කරන ලෙසට වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව ද සඳහන් කර ඇත.
දුම්රිය වර්ජනයට විකල්පයක් ලෙස ගමනාගමන මණ්‌ඩලයේ බස් රථ දෙදහසක් පමණ යොදවා ඇතැයිද ඇමැතිවරයා පවසයි.
තම වැටුප් විෂමතා ඉවත් කර ගැනීම සඳහා අඛණ්‌ඩව දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා "දිවයින" ට කීවේය.
වර්ජනය අතහැර සාකච්ඡාවට එන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා තමන්ට දැනුම් දී ඇතත් තමන් එය ප්‍රතික්‍ෂේප කරන බව කී දොඩම්ගොඩ මහතා දුම්රිය වෘත්තීය සමිති ඊයේ ද විශේෂ සාකච්ඡාවක් කර වර්ජනය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් පැවසුවේය.

No comments: