"කූරගලට විදුලිය ලබාදීම නවතා දැමුවේ ලංකා විදුලිබල මණ්ඩලය නොවෙයි"

"කූරගල විහාරස්ථානයට විදුලිය ලබාදෙන්න කියලා අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ මගෙන් ඉල්ලීමක් කලා. කූරගලට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් මීට ඉහතදී යම් සිද්ධියක් ඇතිවුණා. පුරාවිද්‍යා දෙපර්තමේන්තුව මගින් කූරගලට නව විදුලි සබදතාව ලබාදීම අනුමත කරමින් ලිපියක් නිකුත් කර තිබූ අතර ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නව සබදතාවය ලබාදීමට සූදානම් වුවත්,  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ම ඊට පසු දින එම අනුමැතිය අවලංගු කරමින් ලිපියක් නිකුත්කර තිබුණා.ඒ අනුව දින 04 ක් වැනි කෙටි කාලසීමාවකින් ලක්ෂ 11 ක් වැනි මුදලක් වැයකර කූරගලට ලබාදීමට සූදානම් වූ නව විදුලි සබදතාවය නවතා දැමීමට සිදුවුණා. නමුත් අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් ක්‍රියාත්මක වෙනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, පසුගියදා පැවති මහනුවර නිල සංචාරයේදි අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැ දැක, සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පැහැදිළි කල අමාත්‍යවරයා,

"ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් සමරණ අවස්ථාවේදී පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කිරීම ආරම්භ කරනවා. දීර්ඝ කාලයක් ඒකාධිකාරියක් පැවති ලංකා විදුලිබල මණ්ඩලය, මේ වනවිට පාරිභෝගිකයා මුල් කරගනිමින් දැන් කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අනුව නව විදුලි බිල් ක්‍රමයක් ඇති කිරී, ගෘහස්ත නව විදුලි සබදතා සතියක් වැනි කාලයකින් ලබාදිම, පාරිභෝගික ගැටලු වෙනුවෙන් ක්ෂණික විසදුම් ලබාදීම වැනි නව ක්‍රියාමාර්ග රාශියක් දියත් කිරීමට අද ලංවිම සමත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ වනවිට පරිහරණය කරනු ලබන ගෘහස්ත විදුලි මීටර් වෙනුවට පෙරගෙවුම් විදුලි මීටරයක් ඉදිරියේදී හදුන්වාදීමට අපි මේ වනවිට කටයුතු සකස් කරමින් පවතිනවා. සැප්තැම්බර් මස අග වනවිට මේ නව මීටර් ව්‍යාපෘතිය දියත් කිරීමට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා."

No comments:

Powered by Blogger.