ලංකාවේ ලොකුම බිස්නස් කරන ජල්තර කල්ලිය !

ගුවන් ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව මේවන විට ආර්ථික වශයෙන් බිඳවැටී සිටින සමාගමක් වන ඩි ලා රූ පී.එල්.සී. (De La Rue PLC) සඳහා ලබාදීමට සියල්ල සකසා ඇති බව වාර්තා වේ. මීළඟ කැබිනට් රැස්වීමේදී අදාළ ටෙන්ඩරය ඩි ලා රූ වෙත ලබාදීමේ කැබිනට් පත්‍රිකාව අනුමත කරගනු ඇති බව වාර්තා වේ.

ඒ සඳහා පෞද්ගලික රාජ්‍ය හවුල්කාරිත්වය (Privet Public Partnaship) යටතේ ඩි ලා රූ සමග ගිවිසුමක් අත්සන් කිරීමට පිඹුරුපත් සකසා ඇති බවද එයට ද කැබිනට් අනුමැතිය ගනු ඇතැයි පැවසේ.

මෙරට සල්ලි අච්චු ගැසීමේ 60% ක අයිතිය හිමිව ඇත්තේ ද ඩි ලා රූ පීඑල්සී සමාගමට වන අතර එහි ඉතිරි 40% හිමිකාරිත්වය ඇත්තේ රජයටය.

අදාළ සමාගමට ලංකාව තුළ ගුවන් ගමන් බලපත්‍ර නිෂ්පාදනය කිරීමට තාක්‍ෂණය හෝ ධාරිතාව හෝ නොමැති බව මේවන විට හෙළිව තිබේ.

ඒ ඔවුන් විසින් අනන්‍යතා විසඳුම් ව්‍යාපාරය (Identity Solutions Business) විකුණා දැමීමට කටයුතු කර තිබීම නිසාය.

ඔවුන් එය විකුණා දැමීමට කටයුතු යොදා තිබූ අයුරු මෙතනින්. De La Rue announces sale of Identity Solutions Business

මේ වන විට ඩි ලා රූ සමාගම අනන්‍යතා විසඳුම් ව්‍යාපාරය (Identity Solutions Business) විකුණා දමා ඇත්තේ ඇමරිකානු සමගමකට වන අතර එය ජාතික ආරක්ෂාවට හිතකර නොවනු ඇති බව ආගමන විගමන ප්‍රවීනයන්ගේ මතය වී තිබේ.

එංගලන්තය කේන්ද්‍රකරගත් ඩි ලා රූ සමාගම මේවන විට ආර්ථිකවශයෙන් පිරිහී ඇති බවත්, ඔවුන් එංගලන්තයේ ගුවන් ගමන් බලපත්‍රය මුද්‍රණයෙන් පවා එළියට විසිවී ඇති බවත්, එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, මේවන වන විට ලාංකිකයන් භාවිත කරනු ලබන ගුවන් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතිවල පහල මට්ටමක පවතින අතර එම තත්ත්වය නිසා ලාංකියන් විදේශයන්හි ආගමන විගමන අංශවලදී යම් යම් අපහසුතාවලට ලක්වන බවද පැවසේ.

මේවන විට ජාත්‍යන්තර පිළිගැනීම ඇත්තේ ඊ-ගුවන් ගමන් බලපත්‍රය (e-Passport) සඳහාය.

මීට පෙර ගුවන් ගමන් බලපත්‍ර සැපයීම සිදුකරනු ලැබුවේ එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් වන අතර, අදාළ සමාගම ද ටෙන්ඩර් රීති කඩමින් කටයුතු කර ඇති බව පැවසේ.

සැපයුම්කරුවකුට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමෙන් පසුව නැවත ඇනවුම් කිරීමේ අගය (Re-order ඪalue) වන්නේ 50% ක් වුවද එපික් සමාගමද, අදාළ කොන්දේසිය කඩකරමින් 200% ක සැපැයුමක් කර ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, සමහර දූෂිත නිලධාරීන් සමඟ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා නව වෙළෙන්දකු පැමිණීම වැළැක්වීම සඳහා එපික් සමාගමද විශාල සටනක නිරත බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

නොම්බර තහඩු හදන අයගේ නොම්බරේ

අංක තහඩු මුද්‍රණ කොන්ත්‍රාත්තුව මෙවරද ලබාගෙන සිටින්නේ ඇක්සස් (Access) සමාගම විසින් වන අතර ඔවුන් ටෙන්ඩර් කොන්දේසියක් වූ නව අංක තහඩුවට Radio-Frequency Identification (RFID) ආරක්ෂිත වැඩපිළිවෙල ඇතුළත් හා නොම්බර තහඩු මුද්‍රණය ගිවිසුම් දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට වලිකමින් සිටින බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙය ටෙන්ඩර් නීති උල්ලංඝනය කිරීමකි. Radio-Frequency Identification (RFID) චිපයක් සහිත ස්ටිකරයක් මගින් මේ නව ආරක්ෂිත වැඩපිළිවෙල යෙදෙන අතර එය ටෙන්ඩරයට අනුව අලුතින් අංක තහඩු ලබාදීම ආරම්භ කළ සැනින් සිදු කළ යුතුව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහය මත සිය කොන්ත්‍රාත් කාලය ඉකුත් මැයි 01 වැනිදා (2019-05-01) සිට මාස 6කට දීර්ඝකරගත් ඇක්සස් සමාගම එකම ටෙන්ඩරයේ තිබූ කරුණු දෙකක් සඳහා වෙනම ගිවිසුම් අත්සන් කිරීමට සැරසීම නිසා අදාළ ටෙන්ඩර් නීති උල්ලංඝනය වේ.

මේ ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ Radio-Frequency Identification (RFID) එක්කර වාහන අංක තහඩු ලබාදීම සඳහා වන අතර ඒ අනුව ගිවිසුම් දෙකක් අත්සන් කළ නොහැකි වන අතර ඒ සඳහා අත්සන් කළ හැක්කේ එක් ගිවිසුමක් පමණි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මගින් මෝටර් රථ සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවා පුද්ගලික අංශයට ලබා දුන් කොන්ත්‍රාත්තුවේ කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු එය දික් කිරීමට නිලධාරීන් සිව්දෙනකු අල්ලස් ගෙන ඇති බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.

එසේම මෙම ටෙන්ඩරය සාමාන්‍යයෙන් වසර පහකට සීමා විය යුතු වුවත් එය වසර 15ක් දක්වා දීර්ඝ කරගෙන ගොස් තිබූ බවට ද මාධ්‍ය චෝදනා කර තිබිණි.

සුරවීර යළි මගඩියකට සැරසෙයි !

ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය සැකසීම පවරා ඇති පසුගිය කාලයේ දී වැඩිම දූෂණ චෝදනා එල්ලවූ නිලධාරියකු වන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ තොරතුරු හා සංනිවේදන කොමසාරිස් තුෂාර සුරවීර මහතා එය සැකසීමට තාක්ෂණික කමිටු සාමාජිකයන්ගේ සහය ලබා නොගෙන තනියම එය සකසමින් සිටින බව වාර්තා වේ.

ඔහු මෙසේ අදාළ ටෙන්ඩරය තනියම සකසමින් සිටින්නේ ඉන් එක් පාර්ශවයකට අනුග්‍රහය දැක්වීම සඳහා බව පැවසේ.

මීට පෙර මේ සඳහා කැඳවන ලද ටෙන්ඩරය අවලංගු කිරීමට සිදුවූ අතර එසේ එය අවලංගු කරනු ලැබුවේ දූෂිත නිලධාරීන්ට වැඩි මුදලක් උපයා ගැනීම සඳහා වැඩි මිලකට මෙට්‍රොපොලිටන් වෙත එම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට අවශ්‍ය මග සැකසීමට බවට මේවන විට චෝදනා එල්ලවී තිබේ.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කොන්ත්‍රත්තුව දැනට සිදුකරනු ලබන්නේ මෙට්‍රොපොලිටන් (Metropolitan) සමාගම විසිනි.

එම සමාගම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී ලබාගත් පුද්ගල දත්ත ගබඩාව මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ලබා දී නොමැති අතර පොරොන්දු වූ පරිදි රියැදුරු බලපත්‍ර දත්ත කියවීමේ යන්ත්‍ර (Driving Licence Data Readers) ද මෙතෙක් ලබාදී නොමැත.

වසර 2007 පමණ සිට රියදුරු බලපත් මුද්‍රණ කොන්ත්‍රාත්තව ලබාගෙන සිටින මෙට්‍රොපොලිටන් ආයතනය මේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ build operate transfer ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවය. ඒ අනුව ඔවුන් පුද්ගල දත්ත මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට ලබාදීමට බැදී සිටියි.

කෙසේවුවද, රියදුරු බලපත්‍ර මුද්‍රණය දැනට සිදුකරනු ලබන මෙට්‍රෝපොලිටන් ආයතනය විසින් ලබාදෙන රියදුරු බලපත්‍රය දෙකට මැද්දෙන් කැඩීයාමේ ප්‍රවණතාවයක් ඇති බාල එකක් බවද පැවසේ.

මෝටර් රථ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එසේ රියදුරු බලපත්‍රවලට හානිවූයේ යැයි ලැබෙන පැමිණිලි දිනෙන් දිනම වැඩිවෙමින් ඇති බවයි.

එසේම එහි ඇති චිපයේ දත්ත ගබඩා වෙන්නේද යන්න පිළිබඳව ද සැකයක් ඇතිව තිබේ.

ඒ අදාළ ටෙන්ඩරයට අනුව එම චිපය පරික්ෂා කිරීමේ උපකරණ මෙට්‍රොපොලිටන් සමාගමෙන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හා පොලිස් ස්ථානවලට ලබාදිය යුතු වුවත් එය මෙතෙක් සිදුව නොමැති බවද පැවසේ.


No comments:

Powered by Blogger.