" අප්‍රේල් මාසේ මැද වෙද්දි මේ විදුලිබල ප්‍රශ්නය සම්පූර්ණයෙන් නිරාකරණය කරනවා" - රවී

"RCA යනු අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) යටතේ පිහිටුවා ඇති අන්තර් රාජ්‍ය ගිවිසුමක් වන අතර එය දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවෙහි පිහිටි අන්තර්ජාතික පරමාණුක ශක්ති ඒජන්සිය (IAEA) ඕනෑම සාමාජික රාජ්‍යකට සහභාගී වීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා. ප්‍රාදේශීය සහයෝගීතා ගිවිසුම මගින් න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ සමීක්ෂණ පර්යේෂණ, සංවර්ධන හා පුහුණු ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම, ප්‍රවර්ධනය කරයි. කෘෂිකාර්මික, මානව සෞඛ්‍ය, කර්මාන්ත, ජල විද්‍යාව, සමුද්‍රීය පරිසරය, විකිරණ ආරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය, න්‍යෂ්ටික බලශක්ති සහ න්‍යෂ්ටික ආරක්ෂාව යන ක්ෂේත්රවල විවිධ විෂයන් ආවරණය කරයි. වෙනත් රටවල් සහ අනෙකුත් අන්තර්ජාතික පරමාණුක ශක්ති ඒජන්සිය සමඟ සහයෝගීව න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සමූපකාර පර්යේෂණ, සංවර්ධන හා පුහුණු ව්‍යාපෘති ප්‍රවර්ධනය හා සම්බන්ධීකරණය කිරීම මෙමගින් සිදුකෙරෙන විශිෂ්ඨ කර්තව්‍යයක්. පසුගිය වසර කිහිපය පුරාවට RCA වැඩසටහන් කෘෂි, මානව සෞඛ්‍ය, පරිසරය සහ කර්මාන්තය තුළ සමාජ ආර්ථික ගැටළු විසඳීමට න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යන අංශයන්හි ශ්‍රී ලංකාවේ සංවර්ධන හැකියාවන් සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා. මෙම ගිවිසුම පදනම් කරගනිමින් සාමය හා සංවර්ධනය සඳහා න්‍යෂ්ටික තාක්ෂණය යෙදීම සතුටක්" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජාත්‍යන්තර පරමාණුක ශක්ති ආයතනයට අනුබද්ධිත න්‍යෂ්ටික තාක්ෂණය සඳහා වූ ආසියා සහ ශාන්තිකර කලාපීය රටවල 41 වන සහයෝගීතා සමුළුව 2019 මාර්තු මස 26 සිට 29 දක්වා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වේ.

එම සමුළුවෙහි සමාරම්භක උත්සවය අද කොළඹ ගලදාරි හෝටලයේදී ආරම්භ වූ අතර එහි ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළකළේය.

මෙම සමාරම්භක උත්සව අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට කරුණානායක මහතා විසින් පිළිතුරු ලබාදෙමින්,

"විදුලිබල මණ්ඩලයෙන් මේ වනවිට විදුලි කප්පාදුව පිළිබදව නිවේදන නිකුත් කරලා තිබෙනවා. 29 දා මම පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිළි පිළිතුරු ලබාදෙනවා. අප්‍රේල් මාසේ මැද වෙද්දි මේ ප්‍රශ්නය නිරාකරණය කරලා ස්ථිරසාර විසදුම් ලබාදෙනවා. 2014 වර්ෂයේ සිට කිසිදු ජනනය කිරීමක් සිදුවෙලා නැහැ. විදුලි ඉල්ලුම 7% - 8% ප්‍රමාණයකින් වැඩි වෙද්දි, සැපයුමක් නැති වෙද්දි, එතන ඉබේම ප්‍රශ්න ඇති වෙනවා. මේ සදහා විසදුම් ලබානොදීමේ පාපකර්මය තමයි අද අපට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ. අපි අතීතයට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ ගැටළුවට ස්ථිරසාර විසදුම් ලබාදීලා, අනාගතේ විදුලිබල ක්ෂේත්‍රයේ මෙවැනි ගැටළු ඇති නොවන ආකාරයට කටයුතු කරන්නයි ඕන.

නොයෙක් අය නොයෙක් දේවල් කිව්වට අපි මේ විදුලිබල ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙනවා ඉතාමත් කෙටි කාලයකින්. මේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඇතිවන අපහසුතාව සම්බන්ධයෙන් පිළිබදව මම ජනතාවට කණගාටුව ප්‍රකාශ කරනවා. තව සුළු කාලයකින් මෙවැනි ගැටළු යළිත් කවදාවත් ඇති නොවන ආකාරයේ සැලසුම් සහගත වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙනවා "යැයි පැවසීය.

No comments:

Powered by Blogger.