ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසින් පෙනී සිටිමින් ළමයි ඉස්කෝලෙ දාන්න සල්ලි ගරලා

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙසින් පෙනී සිටිමින් පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම වැනි සිද්ධින් වලට පුද්ගලයන් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයෙකු මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය
වෙත පැමිණි සිටියදී එහි පොලිස් නිලධාරීන් විසින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන මහනුවර පොලීසිය වෙත භාර දෙනු ලැබීය.

ගම්පොළ නගරයේ බාලිකා පාසලකට දැරියක ඇතුළත් කිරීමට පොරොන්දු වී රුපියල් පනස් දහසක මුදලක් ඒ සඳහා අල්ලසක් වශයෙන් ලබා ගත් බව කියන සැකකරු ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණ සිටියදී ඔහුට මුදල් ලබා දුන් අයද එම ස්ථානය
වෙත පැමිණි ඇත.එහිදී සැකකරු දැක කෝපයට පත්ව ඇති අදාළ දැරියගේ පියා සැකකරු පිළිබඳ කෑ ගැසීමෙන් පසු සැකකරු පළා යාමට උත්සාහ කිරීමේදී ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර පොලීසිය මගින් පෙරේදා (28) සවස ගම්පොළ පොලීසිය වෙත භාර දෙනු ලැබීය.

ගම්පොළ උඩ පළාත ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි සැකකරු දිගින් දිගටම මෙවැනි වංචා කිරීම් රැසක් සිදු කැර ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වෙමින් පවතී.

මහජන දිනය පැවැති පෙරේදා (28) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත විශාල පිරිසක් පැමිණ සිටි අතර එම පිරිස අතර සිටි අදාළ දැරියගේ පියා සැකකරු අහම්බෙන් දැක කෑ ගැසීමේදී එහි රැස් වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙලෙස විවිධ ස්ථානවල, මහජන දින පැවැත්වෙන අවස්ථාවන්හි සැරිසරණ බවත් එලෙස විවිධ සබඳතා පවත්වන බවට පෙනී සිටිමින් මුදල් වංචාවෙහි යෙදී ඇති බවටත් හෙළිවේ.

ගම්පොළ ජිනරාජ බාලිකාවට හෝ සාන්ත ජෝෂප් බාලිකාවේ මෙවර පළමු ශ්‍රේණියට දැරිය ඇතුළත් කැර දීමට පොරොන්දු වී සැකකරු මෙලෙස මුදල් වංචා කැර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි 11 දා දැරියගේ පියා ගම්පොළ පොලීසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කැර ඇත.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම වැනි සිද්ධින්වලට මුදල් වංචාකරන්නන් හා තැරැව්කරුවන් පිළිබද විවිධ පැමිණිලි හා තොරතුරු පසුගිය දිනවල තමන් වෙත ලැබී තිබූ බවත් ඒ නිසා මෙවැනි අය පිළිබඳව තම ආරක්ෂක අංශ දැනුවත් කැර තිබූ බවත් ඒ අනූව මේ සැකකරු අත්අඩංගුවට ගැණුනු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.


No comments:

Powered by Blogger.