අල ගෝනියක සැඟව හොංකොං ආ සියවසක් පැරණි බෝම්බය
පළමු ලෝක යුද්ධය කෙළවරක් දුටුයේ 1918දීය. එහෙත් එහි අං-කොන් තවමත් වසර සිය ගණනක් ගෙවී ගිය පසුද, දකින්නට අහන්නට ලැබෙයි. ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන ආගිය කතා, දුක්බර සැමරුම් ඒ අතර වෙයි. මේ අතර තවත් සමහරක් මතක හිටි හැටියේ අලුත් වෙයි.
මේ අලුත්ම පුදුම කතාව අපට අසන්නට ලැබෙන්නේ හොංකොං දේශයෙනි. හොංකොං පොලීසිය පවසන්නේ පළමු ලෝක යුද්ධයට යොදා ගැණුනු ජර්මන් අත්බෝම්බයක් ඔවුනට සොයා ගන්නට ලැබුණු බවයි. වසර සියයකට වැඩි මිස අඩු නැති මේ අත් බෝම්බය හිටි හැටියේ හොංකොං දේශයෙන් මතුවූයේ කෙලෙසින්දැයි ඔබ මවිත වනු ඇත. ඒ අපූරු, නොපැතූ-නොසිතූ චාරිකාවකිනි. එය හමුවී ඇත්තේ ප්රංශයේ සිට හොංකොං දේශයේ අලපෙති නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ගෙන්වන ලද අල ගෝනියක තිබිය.
මඩ පැහැගත් මේ පෞරාණීය යුද වස්තුව අඟල් තුනක පමණ පළලකින් යුතු බව පැවැසිණ. වසර සිය ගණනකට පෙර යම් දවසක ජීවිතයක් නැති කරනු පිණිස දමා ගසන්නට යෙදුණු මේ අත්බෝම්බය එදා පුපුරා ගොස් තිබුණේ නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අල පෙතිත් සමග මිනිසාගේ ආදරය පතා පැමිණි එය මේ වනවිට පැවැතියේ පුපුරාවිද නැද්ද යැයි කියන්නට බැරි දෙගිඩියාවකය.
එය හඳුනා ගන්නට ලැබුණේ නැගෙනහිර දිග සායි-කුංග් දිස්ත්රික්කයේ කැල්බි නමැති අලපෙති නිෂ්පාදන කර්මාන්ත ශාලාවකදීය. බෝම්බ නිෂ්ක්රීය අංශය විසින් එය ආරක්ෂාකාරී ලෙස නිෂ්ක්රීය කර දමන්නට ලැබුණු බවක් පසුව ආරංචි විය.
කාලයත් සමග පොළොවේ වැළලී තැබුණු එය සියවසකට පමණ කාලයකට පසු ගොඩ ආවේ අර්තාපල් අල අස්වැන්නක්ද සමගය. බාගවිට එය එහි සටන් බිමේ සිටි සෙබළුන් අතින් හැලී ගිය එකක් වන්නටද පිළිවනැයි අනුමාන කෙරෙයි.
පසුගිය වසරේද මෙවැනිම ලෝක යුද්ධ බෝම්බ බියකින් හොංකොං ව්යාපාරික නගර ප්රදේශය කැළඹුණු බව සඳහන්ය. ඒ බෙහෙවින් ආපදාවට ලක්වී ගිය දවෛනි ලෝක යුද සමයේ බෝම්බයක් ඉදිකිරීම් බිමකදී තිබි හමුවීමත් සමගය. රාත්තල 992ක බරකින් යුතු මේ පැරණි යුද බෝම්බය නිෂ්ක්රීය කිරීමේ කාරිය සඳහා එහි පදිංචි දහසක පමණ ප්රමාණයක් නගරයෙන් පිටමං කරන්නටද සිදුවුණු බව පැවැසෙයි.
පළමු හා දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ බෝම්බ හෝ අවි ආයුධ මතුවූ එකම අවස්ථාව මෙය නොවේ. මීට පළමු ලොව විවිධ ප්රදේශවලින් එබඳු හමුවීම් වාර්තා වුවද අර්තාපල් සමග පෙති කැපෙන්නට ගිය බෝම්බයක් ගැන වාර්තා වූයේ පළමු වතාවටය.
No comments: