රහසිගතව ලිපි හුවමාරුවක් කරලා - විදේශ අමාත්‍යංශයට ගම්මන්පිලගේ විරෝධය

විතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.

එක්සත් රාජධානියේ බලයේ සිටින වගේම දිගුම කලක් එරට පාලනය කළ කොන්සර්වැටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ලංකාවේ වෙනම රාජ්‍යයක් සෑදිය යුතු බවට සඳහන් වන බව අපි හෙලිදරව් කලා. ඊට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශය කිව්වේ මහ කොමසාරිස්වරිය ලිපියක් ලියා මේ ගැන විමසූ බවත් ඊට කොන්සර්වැටිව් පක්ෂය ප්‍රතිචාර දක්වමින් තමන් එවැන්නක් අදහස් නොකළ බව විද්‍යුත් ලිපියක් මගින් දැන්වූ බවත් පවසනවා.


ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් සෑදිය යුතු බවට කොන්සර්වැටිව් පක්ෂය පැවසුවේ වැරදීමකින් නොවේ. තක්කඩි කමට. එක්සත් රාජධානියේ ජීවත් වන දෙමළ ඡන්ද කුට්ටිය ගැන බලාපොරොත්තුවෙන්. නැතිනම් ලංකාව ගැන විශේෂයෙන් සඳහන් කලේ ඇයි? වෙනත් රටක වුණා නම් ඉංග්‍රිසි අපේ මව්බස නොවන නිසා අපට වැරදුනා කියන්න පුළුවන්. එංගලන්තයට එහෙම කියන්න පුළුවන් ද? ඉංග්‍රිසි බස උපන්නේ එංගලන්තයේ. ඊටත් වඩා ඉංග්‍රිසි උරුමය රකින පක්ෂය තමයි කොන්සර්වැටිව් පක්ෂය කියන්නේ? ඒ නිසා කාට වැරදුනත් එන්ගලන්තයේ කොන්සර්වැටිව් පක්ෂයට එය වැරදිලා සිදුවුණා වෙන්න බැහැ.

එහෙම පසුබිමක රහසිගතව ලිපි හුවමාරුවක් කරලා නිහඬව ඉන්න විදේශ අමාත්‍යාංශයට පුළුවන් ද? ලංකාව තුල වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ඕනෑ කියලා කොන්සර්වැටිව් පක්ෂය කියන්නේ ප්‍රසිද්ධ ලේඛණයක. නමුත් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑ කියන්නේ පෞද්ගලික ලිපියක. තමන්ට ලැබුණු පෙම් හසුනක් සේ බොහොම රහසිගතව එය සඟවාගෙන හිටියම හරියනවද ? එහෙම නම් එක්සත් රාජධානියේ ඡන්දදායකයින් දෙසැම්බර් 12 ඡන්දය ප්‍රකාශ කරන්න කලින් කොන්සර්වැටිව් පක්ෂය ලෝකයට කියන්නට ඕනෑ මේ ප්‍රකාශය වැරදියි අපි එහෙම දෙයක් අදහස් කළේ නැහැ කියලා. ඒ අය ඒක කරන්නේ නැතිනම් විදේශ අමාත්‍යාංශය විසින් මේ ලිපි හුවමාරුව ප්‍රසිද්ධ කරන්න ඕනෑ. එහෙම නොකර කොන්සර්වැටිව් පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කලොත් ඒක දෙමළ ඊළමට සහය පල කිරීමට ලබා දුන් ජනවරමක් ලෙස දෙමළ බෙදුම්වාදින් විසින් ඒ ජයග්‍රහණය විග්‍රහ කරනවා. එතකොට මේ ලිපි ප්‍රසිද්ධ කිරීමට පමා වැඩියි. ඒ නිසා අපි මේ හෙලිදරව්ව කරන තුරු මේ ලිපි සඟවා තබා ගැනීම මාරාන්තික වරදක්.

අද බලයේ සිටින්නේ කොටි පිනවන රනිල්ගේ ආණ්ඩුව නොව කොටි වනසන ගෝඨාභය මහින්ද ආණ්ඩුව බව එක්සත් රාජධානියේ සිටින මහ කොමසාරිස්වරියටත් විදේශ කටයුතු ලේකම්වරයාටත් අපි මතක් කරනවා.

ඒ වගේම අයිලන්ඩ් පුවත්පත තවත් වැදගත් හෙලිදරව්වක් කරනවා. එක්සත් රාජධානියේ Conflict Security and Stability Fund කියන අරමුදලෙන් පවුම් මිලියන 10ක් 2018 සිට වසර තුනක් සඳහා ලංකාවේ ව්‍යාපෘතියකට වෙන් කර තිබෙනවා. ඒ බව මේ අරමුදලේ 2018 වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා. මේ අරමුදෙලේ අරමුණ තමයි එක්සත් රාජධානියේ ආරක්ෂාව සහ ස්ථාවරභාවයට තර්ජනයක් වන තමන්ගේ උවමනාවන් වලට බලපෑමක් සිදුවිය හැකි කාරණා සම්බන්ධයෙන් ලෝකයේ අන් රටවල මුදල් වියදම් කිරීම. තමන්ගේ රටේ වාසිය වෙනුවෙන් වෙනත් රටවල ව්‍යාපෘති සිදු කිරීම. මේ මුදල් වෙන් කලේ මොනවාටද කියන එක විදේශ අමාත්‍යාංශය දන්නේ නෑ. ඒ නිසා මේ අරමුදල් යෙදවූයේ ජනාධිපතිවරණයේ දී තමන්ගේ රූකඩ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කියන සාධාරණ සැකය අපට තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව සොයා බැලීමක් අපේ විදේශ අමාත්‍යාංශය විසින් සිදුකළ යුතුයි. ඒ වගේම මේ මුදල් ශ්‍රී ලංකාවට ආයෝජනය කළේ කුමන යටි අරමුණෙන්ද කියන එක එක්සත් රාජධානිය මේ රට වැනසීමේ අරමුණක නොමැතිනම් වහාම පැහැදිලි කළ යුතුයි කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා ලංකාවේ සිටින මහ කොමසාරිස්තුමා හෝ එක්සත් රාජධානියේ විදේශ අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුයි.

– අරවින්ද අතුකෝරල

No comments:

Powered by Blogger.