"අපේ සහය යුධ අපරාධ ගැන හොයන අයට පමණයි" - ශිවාජිලිංගම් කියයි
2020 වසරේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශන වල යුද අපරාධ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි ලෙස ඇතුළත් වන අපේක්ෂකයාට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය හිමිවිය යුතු බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.
මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කතා කළ ශිවාජිලිංගම් මහතා කියා සිටියේ 2010 වසරෙන් පසුව ජනාධිපති ධුරයට පත් වූ හා එමධුරය අපේක්ෂාවෙන් කටයුතු කළ සෑම අයෙකුම යුද අපරාධ ප්‍රශ්නය මගහැර ඇති බවයි.
නමුත් ජාත්‍යන්තර ප්‍රජාව පවා යුද සමයේදී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ යුද අපරාධ සිදුවූ බව පිළිගෙන ඒ හා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට යම් යාන්ත්‍රණයක් නිර්දේශ කොට ඇති බවද ඔහු කියා සිටියි.
2010 වසරේදී ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගෙන් මහින්ද රාජපක්ෂ මහතාටත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටත් එතරම් විශාල සහයෝගයක් නොලැබුණේද මෙම යුද අපරාධ සම්බන්ධයෙන් වූ මතය නිසා බව කියන ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ඒ කාල වකවානුව වන විට උතුරේ ජනතාවට මේ සම්බන්ධයෙන් තිබූ අවබෝධය අඩු නිසා යාන්තමට හෝ සහය දුන් බව කියා සිටියි.
නමුත් 2020 වසර වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන නිසා දෙමළ ජනතාව අනිවාර්යෙන්ම මේ අවශ්‍යතාවය මත පෙළ ගැස්වීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගත යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේදී පමණක් නොව ඉදිරියේදී රජය සමග හෝ වෙනත් පාර්ශ්වයක් සමග දෙමළ ජාතික සන්ධානය යම් එකගතාවයකට පැමිණෙන්නේ නම් ඒ හා සම්බන්ධයෙන් පැහැදිලි වගන්ති හා කරුණු ඇතුළත් ගිවිසුමක් අත්සන් තැබීමෙන් පසුව පමණක් ඊට එකගවිය යුතුය යන තීරණයේ සිටිය යුතුය යන මතය තමන් වෙනස් කර නොගන්නා බවද ශිවාජිලිංගම් මහතා මෙහිදී පැවසීය.
(දිනසේන රතුගමගේ)
No comments: