ජනපති සිව්වන වරටත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මාරු කරයි - නව මහ ලේකම් දයාසිරි

ජනපති සිව්වන වරටත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් මාරු කරයි - නව මහ ලේකම් දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්කර ඇත.

කොළඹ , ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ.

පස්වරු 07.00ට පමණ රැස්වීම ආරම්භ වූ අතර පැය දෙකක පමණ කාලයක් එම රැස්වීම පවත්වා තිබේ.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේ පක්ෂය පූර්ණ ප්‍රති සංවිධානය කිරීමට මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවය.

ඒ අනුව හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා  ඉවත් වී නව ලේකම්වරයෙකුට අවස්ථාව ලබා දුන් අතර සියලු දෙනාගේම කැමත්ත මත දයාසිරි ජයසේකර මහතා එම ධූරයට තාවකාලිකව පත්කෙරුණු බව ඔහු පැවසිය.

ජනපති යටතේ සිව්වන වන මහ ලේකම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ පසු පුද්ගලයින් සිව් දෙනෙක් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළහ.

ඒ, අනුර ප්‍රියදර්ශන යාපා , දුමින්ද දිසානායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් පසුගිය වසර හතර තුල  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ අයය.

පක්ෂයේ මහ ලේකම් ධුරයට ජනපතිගේ නවතම තේරීම වන දයාසිරි  සිය දේශපාලන දිවිය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයෙන්ය.

පක්ෂ අභ්‍යන්තර අර්බුදය

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කණ්ඩායමක් ජනපතිගේ මතයට විරුද්ධව සංවිධානය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින්.

එම සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කලේ  ජනපතිගේ මතයට විරුද්ධව එක් ආණ්ඩුකාරවරයෙක්, නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 21 දෙනාගෙන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සිටින බවය.

No comments:

Powered by Blogger.