බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුව බාර දීලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න - විජේදාස රාජපක්ෂ


මහින්ද රාජපක්ෂ රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යය විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරද්දී විජේදාස රාජපක්ෂ මහතා පමණක් අද පාර්ලිමේන්තු සභා ගැබට පැමිණීම සුවිශේෂී කරුණක් විය. එහිදී ඔහු කළ කතාව පහත දැක්වෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ මූලික වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.  යම් යම් වැරදි දේ නිසා අපේ රට අවුරුදු 30ක දරුණු යුද්ධයකට පැටලිලා පීඩාවට පත් වුණා. ඉන් පසු සියලු දෙනාට බලාපොරොත්තු දෙමින් තමයි 2015 අපි ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වේ. 
ජනපතිගේ ජයග්‍රහණයත් එක්ක මේ රට හොඳ පැත්තකට යයි කියලා හිතලයි ජනතාව ඡන්දය දුන්නේ.  එජාපයට 43ක් තිබිය දී පවා තුනෙන් දෙකෙන් 19 සම්මත කරන්න පුලුවන් වුණා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපතිවරයා සහයෝගය දුන්නා. විධායක ජනපති බලතලවල විශාල ප්‍රමාණයක් නිලයෙන් ඉවත් කරලා අමාත්‍ය මණ්ඩලයටත්, ව්‍යවස්ථා දායක සභාවටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් බෙදා හරින්න අපට හැකියාව ලැබුණා.
එම ව්‍යවස්ථා සංශෝධනය ඉතාම නිවැරදිම සංශෝධනයක් කියා මම කියන්නේ නෑ. ලෝකයේ නිවැරදිම ව්‍යවස්ථා දකින්න බෑ. විශේෂයෙන්ම 2015 අගෝස්තු 17 මැතිවරණයකට මුහුණ දුන්නා. මැතිවරණයට පෙර පටන් අපි ප්‍රකාශ කළේ 113 වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් එජාපයට ආවත් ශ්‍රීලනිපයේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් නිර්මාණ්‍ය කරනවා කියලා.
නමුත් අපට සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගන්න බැරි වුණත් ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ජනතාවට පොරොන්දු වූ පරිදි ආණ්ඩුවක් හැදුවා. වසර තුනක කාලයේ ප්‍රශ්න ඇති නොවුණා නෙමෙයි. අපිට චෝදනා ඉදිරිපත් නොවුණා නොවෙයි. අපි උපරිම වහයෙන් ජනතාවගේ අභිලාශයක් ඉටු කරන්න කටයුතු කළා. නමුත් කාලයාගේ අවෑමෙන් අපේ ආණ්ඩුවට නායකත්වය දුන්නු, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාර්ශ්වයත්, ගරු අගමැතිතුමාගේ පාර්ශ්වයත් වශයෙන් පැරණි අවලාද දේශපාලන අවතීරණ වුණා.
අපි උත්සාහ කළේ ජනතාව බලය දුන්නු වසර පහක කාලේ ජාතික ආණ්ඩුවක් අනුව ආදර්ශමත් දේශපාලන රටාවක් ස්ථාපිත කරන්නයි.  කණ්ඩායම් දෙකට නායකත්වය දුන්න ජනාධිපතිටත්, අගමැතිටත් තමන්ගේ කණ්ඩායම් දෙක සංයමයකින්  හසුරුවා ගන්න නොහැකි වුණා. ඒකෙදි  ඒ දෙන්නම අසමත් වුණා. ඒ අතීත වැරදි වලින් පාඩම් ඉගෙන ගනිමින් සිටියදී තමයි අප අතර තිබුණු විශ්වාසය ගිලිහෙමින් පැවතිද්දි තමයි ඔක්තෝබර් 26 වැනිදා පූර්ව දැනුම් දීමකින් තොරව අගමැතිවරයා ඉවත් කළ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමත් සිදු වුණේ. මේ වන විට එම ක්‍රියාදායමයෙන් අනතුරුව පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත්, පාර්ලිමේන්තුව විසිරුවීමට නියෝග දීමත් සිද්ධ වුණා. පාර්ලිමේන්තුව විසිරුවීමට එරෙහි කාරණය මේ වන විට අධිකරණයේ විභාග වෙනවා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය පැවරිලා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවට. මේ පාර්ලිමේන්තුව තුළ මතුවන කාරනා , ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇති මතගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න බෑ කියලා ඔප්පුවෙන අවස්ථාවක ජනතාව ප්‍රශ්න කළොත් ජනතාවගේ ප්‍රශ්න විසඳහන්න පුලුවන්ද කියලා ප්‍රශ්න කළොත් අපි නිරුත්තර වෙනවා.  මෙම ගැටලුව විසඳා ගන්න කතානායකවරයාට සහ විධායකයට ලොකු වගකීමක් තිබෙනවා. විධායකයේ නියෝග ව්‍යවස්ථාව පිළි නොගැනීමත්, ව්‍යවස්ථාදායකය සම්මත කර ගන්නා යෝජනා විධායකට පිලිනොගැනීමත් නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා.
පහුගිය කාලයේ සිදුවූ දේවල්වල හරිවැරදි හොයලා පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමෙන් ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ. එකිනෙකා කෙරෙහි විශ්වාසය ඇති කර ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය මෙහෙයවන්න පුලුවන් කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීම අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් මන්ත්‍රීවරයකු ලෙස ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම්.  මේ ප්‍රශ්න නිරාකරණය කරන කර්ත්‍යවයේදී සාර්ථකව වැඩ කරන්න පුලුවන් කතානායකතුමා විදියට ඔබට විතරයි. 
මේ රටේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුව බාර දීලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා සිටිනවා.


www.reporter.lk

No comments:

Powered by Blogger.